Friday, May 9, 2025

General line - 0115112241

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි



මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.     

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. 

එලෙස ලෝක බැංකු සභාපතිවරයෙකු මෙරටට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයක්. 

මෙරට ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබාදිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව එහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.
 

ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීව ප්‍රතිලාභ ලබාගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීමට සහ උතුරු නැගෙනහිර සංවර්ධනය   පිළිබඳව ද එහිදී විශේෂ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
 

නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.


ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ලෝක බැංකු සමූහයේ විශේෂ උපදේශක ට්‍රවෙර් කින්කේඩ්, ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන්, ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඉමාද් ෆැකවුරි, ලෝක බැංකුවේ මාලදිවයින සහ  ශ්‍රී ලංකාව සඳහා නේවාසික නියෝජිත ගිවෝර්ග් සාර්කස්ජාන් යන මහත්වරු ද ඊට එක් වූ බවයි. 
 

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරු ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවා.