Sunday, May 18, 2025

General line - 0115112241

අමෙරිකාව හරහා හමා ගිය ටොනේඩෝ කුණාටුවකින් 25 දෙනෙකු මරුට



අමෙරිකානු ප්‍රාන්ත දෙකක් හරහා හමා ගිය ටොනේඩෝ කුණාටු හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. 

මිසූරි සහ කෙන්ටකි ප්‍රාන්ත හරහා එම ටොනේඩෝ කුණාටු හමා ගිය බවයි අමෙරිකා කාලගුණ සේවය සඳහන් කරන්නේ. 

ටොනේඩෝ කුණාටු හේතුවෙන් කෙන්ටකි ප්‍රාන්තයේ මරණ 18ක් සහ මිසූරි ප්‍රාන්තයේ පුද්ගලයින් 07දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

කෙන්ටකි ප්‍රාන්තයේ ගිනිකොණ දෙසින් පිහිටි ලෝරල් ප්‍රාන්තයටද සුළි කුණාටුවේ බලපෑම් එල්ල වී තිබූ අතර මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකි බවයි  අමෙරිකා කාලගුණ සේවය සඳහන් කර ඇත්තේ. 

ටොනේඩෝව හේතුවෙන් මිසූරි ප්‍රාන්තයේ ගොඩනැගිලි 5,000කට හානි සිදුවී තිබු අතර මිසූරි සහ කෙන්ටකි ප්‍රාන්ත දෙකෙහි නිවාස 140,000කට පමණ විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 

මිසූරි සහ කෙන්ටකි ප්‍රාන්තයන්හි හානියට පත් ප්‍රදේශවල සහන සේවාද ක්‍රියාත්මක කර තිබෙනවා. 

මේ අතර සිදුවන සොරකම් අවම කිරීම සඳහා, එරට වේලාවෙන් රාත්‍රී 09 සිට උදෑසන 06 දක්වා ඇඳිරි නීතිය පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.