Friday, May 30, 2025

General line - 0115112241

ගුවන් සේවිකාවකට ලිංගික අතවර

ටී කේ ජී කපිල



ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ එමිරේට්ස් ගුවන් යානයක් තුළ සේවයේ නිරත වී සිටි 39 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට, උඩු ගුවනේ දී ලිංගික අතවර සිදු කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නෞකා කපිතාන්වරයෙකු ලෙස සේවය කරන 49 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි  ද්‍රවිඩ ජාතිකයෙක්.
 

ඔහු ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටි අතරතුර අධික ලෙස බීමත්ව, එම ගුවන් යානයේ සේවය කරමින් සිටි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවට ලිංගික අතවර සිදු කර තිබෙනවා. 

ඇය වහාම මේ පිළිබඳ ගුවන් යානයේ නියමුවා දැනුවත් කර ඇති අතර ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 

පසුව මෙම ගුවන් මගියා මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මොහු බීමත්ව සිටි බවට කරුණු  තහවුරු වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකු එරටින් පිටුවහල් කර අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා. 

වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැඳී සිටිමින්, එරට විවිධ රැකියාවල නිරත වී සිටි එම ශ්‍රී ලාංකිකයන් පිරිස එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිර ගෙවල් සහ රැදවුම් මධ්‍යස්ථානවල රඳවා තැබීමෙන් පසුව ඔවුන් මෙරටට ඒවා ඇත්තේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීම මතයි.