Friday, April 26, 2024

General line - 0115112241

සීමානීර්ණ වාර්තාවට මාස දෙකක් කල් ඉල්ලයි

සමන්ත කුමාර




පළාත් සභා මැතිවරණයට අදාළ සීමානීර්ණය පිළිබද සිය වාර්තාව ඉදිරිපත් කිරීමට තවත් මාස දෙකක පමණ කාලයක් ප‍්‍රමාද වනු ඇතැයි ඒ සදහා පත් කරන ලද සමාලෝචන කමිටුව කතානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා. 

පළාත් සභා සීමානිර්ණය වාර්තාව සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් ලෙස කරුණු සළකා බලා එකගතාවකට එළඹීමට අවශ්‍ය බැවින් සිය වාර්තාව ඉදිරිපත් කිරීම එලෙස ප‍්‍රමාද වනු ඇති බවයි සමාලෝචන කමිටුව දැනුම් දී ඇත්තේ. මෙම තත්ත්වය පිළිබද සලකා බැලීම සදහා කතානායකවරයා විසින් අද (21) පස්වරුවේ විශේෂ පක්‍ෂ  නායක රැස්වීමක් කැදවා තිබුණා. 

සමාලෝචන කමිටු වාර්තාව ඉදිරිපත් කිරීම ප‍්‍රමාද වන්නේ නම් ගතයුතු ඉදිරි පියවර පිළිබද එහිදී අවධානය යොමු කෙරුණු බවයි කතානායක මාධ්‍ය අංශය සදහන් කළේ. කවර තත්ත්වයක් යටතේ වුවද හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් බව කතානායකවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. 

එහිදී අදහස් දැක්වමින් අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ අදාළ වාර්තාව ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුකර එම අදහස් පක්‍ෂ නායකයින් වෙත දැනුම්දීමට කඩිනමින් පියවර ගන්නා බවයි.