Saturday, April 27, 2024

General line - 0115112241

අරාබි මුහුදේදී පැහැර ගත් නොකාවක් මුදා ගැනේ




සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් පිරිසක් විසින් ඉකුත් දෙසැම්බර් මාසයේදී පැහැර ගත් වෙළ‍ඳ නෞකාවක් ඊයේ සාර්ථකව මුදා ගෙන තිබෙනවා.

ඒ, අරාබි මුහුදේ දී ඉන්දීය නාවික හමුදාව විසින්.

අරාබි මුහුදේ දින දෙකක් පුරා සිදු කල මෙහෙයුමකින් අනතුරුව පැහැරගත් නෞකාව සහ එහි සිටි ප්‍රාණ ඇපකරුවන් 17 දෙනෙකු සාර්ථකව මුදා ගත් බවයි ඉන්දීය නාවික හමුදා ප්‍රකාශක විවේක් මද්වාල් පැවසුවේ.

ඒ සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකා දෙකක්, ඩ්‍රෝන යානා සහ අමෙරිකාවේ  නිෂ්පාදිත දිගු දුර නිරීක්ෂණ ගුවන් යානා ද එක්ව තිබුණා.

එලෙස මුහුදු මංකොල්ලකරුවන් විසින් පැහැර ගෙන තිබුණේ  මෝල්ටාවේ ධජය සහිත රුවේන් නමැති වෙළඳ නෞකාවක්.

එම නෞකාවේ සිටි මුහුදු කොල්ලකරුවන් 35 දෙනාම සාර්ථකව අල්ලා ගත් බව ද ඉන්දීය නාවික හමුදාව පැවසුවා.

එම මුහුදු මංකොල්ලකරුවන් අදාළ නෞකාවේ රැඳී සිට අරාබි මුහුදු සීමාව පසුකරන තවත් නෞකා පැහැර ගැනීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.

එහි ආසන්නතම සිදුවීමක් ලෙස ඉකුත් 12 වනදා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් භාරයට බංග්ලාදේශයේ නෞකාව පෙන්වා දිය හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.