Tuesday, April 30, 2024

General line - 0115112241

ඉරාන ඊශ්‍රායල් යුධ උණුසුමට අමෙරිකාවත් මැදිහත් වෙයි




ඉරානයේ සහ ඊශ්‍රායලය අතර යුධ උණුසුමට අමෙරිකාවද මැදිහත් වී තිබෙනවා.

ඒ, ඉරානයට අලුතින් සම්බාධක පැනවීමේ තීරණයත් සමගයි.

අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන් පවසා ඇත්තේ ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරය පදනම් කර ගනිමින් ඉරානයට එරෙහිව ඉදිරියේදී දැඩි සම්බාධක පනවන බවයි.

ඒ පිළිබඳ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ජී 07 රටවල නායකයින් සමග සාකච්ඡා කිරීමටද නියමිත බව ඔහු පවසා තිබෙනවා.

එහිදී ඉරාන මිසයිල සහ ඩ්‍රෝන වැඩසටහන, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය හෙවත් IRGC සහ ඉරානයේ ආරක්ෂක අමාත්‍යංශයට සහය දක්වන ආයතනවලට නව සම්බාධක පැනවීමට නියමිතයි. 

ඉරානයේ මිසයිල වැඩසටහනට එරෙහිව සම්බාධක පනවන ලෙස ඊශ්‍රායලය ද රටවල් රැසකින් ඉල්ලීමක් කළා.

ඊශ්‍රායල විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් පවසා ඇත්තේ ඉරානයට එරෙහිව සම්බාධක පනවන්නැයි ඉල්ලමින් තමන් රටවල් 32කට ලිපි යොමු කළ බවයි. 

ඉරානය ඉකුත් සෙනසුරාදා ඩ්‍රෝන යානා, කෲස් මිසයිල සහ බැලස්ටික් මිසයිල 300ක් පමණ ඊශ්‍රායලය වෙත එල්ල කළේ සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට පළි ගැනීමක් ලෙසයි.

කෙසේවෙතත් එම ප්‍රහාරවලින් සියයට 99ක්ම ඊශ්‍රායලයේ ස්වයංක්‍රීය මිසයිල ආරක්ෂණ පද්ධතිය මගින් ව්‍යර්ථ කර තිබුණා.