සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 100ක් රැස් කරගෙන සිටියා.

තරගයේ තුන්වන දිනය වන අද දිනයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 495කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
අද පෙරවරුවේ බංග්ලාදේශ කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙස නහිඩ් රනා ලකුණු නොලබා දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේයි.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 163ක් සහ නජ්මුල් හොසේන් ෂැන්ටෝ ලකුණු 148ක් රැස් කළා.

අසිත ප්‍රනාන්දු ලකුණු 86කට කඩුලු 04ක් දවා ගැනීමට සමත් වුණා.

මිලාන් රත්නායක සහ තරිඳු රත්නායක කඩුලු 03 බැගින් දවා ගත්තා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලහිරු උදාර ලකුණු 29ක් රැස් කරගෙන සිටියදී දැවී ගියේ ටයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේයි.

අනෙක් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 46ක් රැස් කරගෙන සිටින අතර අංක 03 පිතිකරු දිනේශ් චන්දිමාල් නොදැවී ලකුණු 22ක් රැස් කරගෙන සිටිනවා.

ඒ අනුව කඩුලු 09ක් අතැතිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 395ක් පිටුපසින් සිටිනවා.