ගුවන් ගමන් පාලන පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් සියලුම ගුවන් ගමන් නතර කරමින් අමෙරිකාව පුරා පනවා තිබූ හදිසි ගුවන් ගමන් අත්හිටුවීම මේ වන විට ඉවත් කර ඇති බව එරට ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆී පවසනවා.

කෙසේ වෙතත්, ගුවන් තොටුපළවල තවමත් විශාල මගීන් පිරිසක් සිරවී සිටින බැවින් ගමනාගමන ගැටළුව සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වීමට යම් කාලයක් ගතවනු ඇති බවයි ප්‍රවාහන ලේකම්වරයා පවසන්නේ.

මෙම හදිසි තත්ත්වයට හේතු වී ඇත්තේ ගුවන් ගමනාගමන පාලන සන්නිවේදන පද්ධතියේ ඇති වූ දෝෂයක් බව ධවල මන්දිර නිලධාරීන් මීට පෙර තහවුරු කළා.

මේ අතර, මෙය අමෙරිකාවට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැති බව ස්වදේශ ආරක්ෂක ලේකම් මාර්ක්වේන් මුලින්, අවධාරණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2001 සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අමෙරිකා එක්සත් ජනපදය තුළ සිදු වූ විශාලතම ගුවන් ගමන් අත්හිටුවීම මෙය ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.

මෙම පද්ධති දෝෂය හේතුවෙන් ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය කළ ඉල්ලීමකට අනුව යුරෝපය පුරා සිට අමෙරිකාව බලා පියාසර කිරීමට නියමිතව තිබූ සියලුම ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.