2026 ආසියානු ක්‍රීඩා උළෙල නිල වශයෙන් අද ආරම්භ වනවා.

ඉකුත් 10වනදා සිට ඇතැම් තරග ආරම්භ වුවත් ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ කෙරෙන සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ අදයි.

ජපානයේ අයිචි නාගෝයා නගරය මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය ලබාදෙනවා.

ශ්‍රී ලංකාවද ඇතුළත්ව රටවල් 46ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 11,000ට වැඩි පිරිසක් ඒ සඳහා සහභාගි වීමට නියමිතයි.

සමාරම්භක උත්සවය ශ්‍රී ලංකාවේ වෙලාවෙන් අද දහවල් 2.30ට ආරම්භ වනවා.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ධජය රැගෙන යාමට නියමිතව සිටින්නේ ජිම්නාස්ටික් ක්‍රීඩිකා නුයාරා ප්‍රනාන්දු සහ පංචප්‍රයාම ක්‍රීඩක ඉසිවරුණ ද සිල්වායි.

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ජපානයට ගොස් සිටින අතර එහිදී ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණා.

ආසියානු ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ 20 වන වරටයි.

1951 වසරේදී මෙම ක්‍රීඩා උළෙල පළමු වරට පැවැත්වුණු අතර ඒ අනුව මෙවර එහි 75වන සංවත්සරයද යෙදී තිබෙනවා.

ආසියානු ක්‍රීඩා උළෙලක් ජපානගේ පැවැත්වෙන තුන්වන අවස්ථාවද මෙයයි.

අද ආරම්භ වන ක්‍රීඩා උළෙල ලබන ඔක්තෝබර් 4වන දා දක්වා පැවැත්වෙනවා.