මෙම වසර අවසානයට පෙර ඉන්දියාව සමඟ විස්තීරණ ආර්ථික සබඳතා ගිවිසුමකට එළඹීමට හැකිවනු ඇතැයි කැනඩාව ඉතා සුබවාදී බලාපොරොත්තු තබා සිටින බව එරට ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පසුගිය මාර්තු මාසයේදී නවදිල්ලි නුවර සිදුකළ සංචාරයකදී කැනඩා අගමැති මාර්ක් කාර්නි ද සඳහන් කර සිටියේ දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුම මෙම වසර අගදී අවසන් කිරීමට ඉලක්ක කරන බවයි.

එළඹෙන මාස කිහිපය ඇතුළත මෙය සාර්ථකව අවසන් කිරීමට හැකිවේවි යන පූර්ණ විශ්වාසය සහ උද්‍යෝගය ඇතැයි කැනඩා වෙළඳ අමාත්‍ය මනින්දර් සිධු ඉන්දියාවේ මුම්බායි හිදී රොයිටර් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පැවසීය.

ලබන මාසයේදී ඉන්දියානු වෙළඳ නියෝජිතයන් කණ්ඩායමක් කැනඩාවේ සංචාරය කිරීමට නියමිත අතර, දෙසැම්බර් මාසයේ පැවැත්වෙන G-20 රාජ්‍ය නායක සමුළුව අතරතුරදී දෙරටේ නායකයන් හමුවීමට ඉඩ ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සාකච්ඡාවල ප්‍රධාන අවධානය යොමුවී ඇති එක් ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ බලශක්ති අංශයයි.

පසුගිය වසරේදී කැනඩාවේ Shell සමාගමේ මූලිකත්වයෙන් ද්‍රවීකෘත ස්වාභාවික වායු අපනයන ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, දැනට තවත් ව්‍යාපෘති පහක් විවිධ සංවර්ධන අදියරයන්හි පවතී.

ඉන්දියානු සමාගම්වලට මෙම ව්‍යාපෘති සඳහා ප්‍රවේශ විය හැකි ආකාරය මෙන්ම ආයෝජනය කර ස්වාභාවික වායු සැපයුම තහවුරු කරගන්නා ආකාරය පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසුවේය.

ද්‍රවීකෘත ස්වාභාවික වායුවලට අමතරව, ඉන්දියාව සිය න්‍යෂ්ටික බලශක්ති ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට අපේක්ෂා කරන බැවින්, පරමාණුක බලශක්ති ක්ෂේත්‍රයේ ද සහයෝගීතාව වර්ධනය කරගැනීමට දෙරටේම අවධානය යොමුවී ඇත.