සැප්තැම්බර් 30 වන දින ගුවන් නියමු කුටිය තුළ හටගත් හදිසි අනතුරකදී අතිශය ධෛර්යයෙන් හා වෘත්තීයභාවයෙන් කටයුතු කරමින් විශාල ව්‍යසනයක් වළක්වා ගැනීමට සමත් වූ ඉන්දීය ගුවන් නියමුවා වන කැප්ටන් ස්මිත් මච්චාර් සහ flydubai ගුවන් සේවක මඩුල්ල එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉහළින් ඇගයීමට ලක් කර තිබේ.
මෙම හදිසි අවස්ථාවේදී බරපතළ තුවාල ලැබූ නියමුවා, දැඩි පරිශ්‍රමයක් යොදා ගුවන් යානා කුටියේ දොර විවෘත කර ගැනීමට සමත් වූ අතර, ඒ හරහා අනෙකුත් ගුවන් සේවකයන්ට සහ මගීන්ට මැදිහත් වී මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවස්ථාව සැලසිණි.
ගුවන් මගීන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට සහ හදිසි අවස්ථාවකදී ගුවන් යානය පාලනය කර ගැනීමට ඔවුන් දැක්වූ කැපවීම අගයමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් විසින් අදාළ ගුවන් සේවක මඩුල්ලට පළමු පන්තියේ සයීඩ් II සම්මානය ප්රදානය කරන ලදී.
ඩුබායි හි ඔටුන්න හිමි කුමරු, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය, ආරක්ෂක අමාත්‍ය සහ දුබායි විධායක කවුන්සිලයේ සභාපති ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම්ගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන ප්රදානෝත්සවය පැවැත්විණි.
ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය යන රටවල නායකයන්ගේ ද පැසසුමට ලක්ව ඇති කැප්ටන් මච්චාර්ගේ මෙම වීර ක්‍රියාවට ජාත්‍යන්තර මට්ටමින් පුළුල් ප්‍රශංසාවක් හිමිව තිබේ. තුවාල ලැබූ ඉන්දීය නියමුවා සම්පූර්ණයෙන් සුවය ලැබීමෙන් පසු ඔහුට සිවිල් වීරකම් සඳහා වන විශේෂ සම්මානයක් ප්රදානය කරන බව ඊශ්‍රායලය ද නිවේදනය කර ඇත.
මගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගනිමින් ගුවන් යානයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගුවන් සේවක මඩුල්ල පෙන්වූ ධෛර්යය සහ වෘත්තීයභාවය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වය දැඩි ලෙස ඇගයීමට ලක් කළේය. එමෙන්ම, ජනතාවගේ ජීවිත සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සැමවිටම රටේ ප්‍රමුඛතාවය වන බව ඔවුන් මෙහිදී යළිත් තහවුරු කළහ.




