තායිවානයට නැගෙනහිරින් පිහිටි මුහුදු තීරයේ චීනය සිදු කරන වඩ වඩාත් ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් හේතුවෙන් කලාපීය ස්ථාවරත්වයට සහ නාවික ගමනාගමනයේ නිදහසට තර්ජනයක් එල්ල වී ඇති බව G7 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරු පවසති. පැරිස් නුවර පැවති රැස්වීමකින් අනතුරුව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයකින් ඔවුන් මේ බව සඳහන් කර තිබේ.

තායිවානය සිය භූමියේ කොටසක් ලෙස සලකන චීනය, පසුගිය ජුනි මාසයේ සිට එම දූපතේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් නිත්‍ය වෙරළාරක්ෂක මුර සංචාර දියත් කරමින් සිය ක්‍රියාකාරකම් වේගවත් කර ඇත. බීජිං පාලනයේ ස්වෛරීත්ව හිමිකම් ප්‍රතික්ෂේප කරන තායිවාන බලධාරීන් පවසන්නේ, හමුදා, අතුරු හමුදා සහ සිවිල් සම්පත් ඒකාබද්ධ කරමින් අනාගතයේදී සිදු කළ හැකි සමුද්‍රීය අවහිර කිරීමක් සඳහා චීනය මෙලෙස පෙරහුරු පවත්වන බවට තමන් විශ්වාස කරන බවයි.

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය මීට පෙර චීනයේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වෙන් වෙන්ව සිය කනස්සල්ල පළ කර තිබුණද, චීනයේ මෙම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් G7 සංවිධානයක් ලෙස එක්ව නිකුත් කළ ප්‍රබලතම ප්‍රකාශය මෙය ලෙස සැලකේ.

තායිවානයට නැගෙනහිර මුහුදු තීරයේ චීනයේ වඩ වඩාත් ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් "කලාපීය ස්ථාවරත්වයට, නාවික ගමනාගමනයේ නිදහසට සහ ජාත්‍යන්තර නෞකා ගමනාගමනයේ ආරක්ෂාවට තර්ජනයක්" බව එම ප්‍රකාශයේ දැක්වේ.

"විශේෂයෙන්ම බලය යෙදවීමෙන් හෝ බලපෑම් කිරීමෙන්, එසේත් නැතිනම් එවැනි තර්ජනයක් මගින් පවතින තත්ත්වය ඒකපාර්ශ්විකව වෙනස් කිරීමට දරන ඕනෑම උත්සාහයකට අපගේ විරෝධය නැවතත් තහවුරු කරමු," යැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ වෙතත්, G7 ප්‍රකාශයට බ්‍රහස්පතින්දා දැඩි ප්‍රතිචාර දැක්වූ චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, එම ප්‍රකාශය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට අමු අමුවේ මැදිහත් වන අතර චීනයට ද්වේෂසහගත ලෙස අපහාස කර මඩ ගසන බවයි.

"සීතල යුද මානසිකත්වයක එල්බ සිටින සහ කල්ලිවාදී දේශපාලනයේ නිරත වන දෘෂ්ටිවාදාත්මක කල්ලියක් බව G7 සංවිධානය මෙම ප්‍රකාශය මගින් යළිත් වරක් ඔප්පු කර ඇත," යනුවෙන් එම අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් කියා සිටියාය.