දකුණු ඉරාකයේ විදුලි බලාගාරයක හටගත් ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව බස්රා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත්, ආරක්ෂක අංශ උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ මෙම ගින්නෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇති බවයි.

හර්තා විදුලි බලාගාරයේ සහ ඒ අවට පිහිටි නිවාසවල හටගත් මෙම ගින්න සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ වන විට පාලනය කර ඇති බව ඉරාක ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ගින්නත් සමඟ මෙගාවොට් 800ක විදුලි උත්පාදන ධාරිතාවක් ඇති එම බලාගාරයේ මෙහෙයුම් කටයුතු නතර කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන දර්ශනවල ගින්නත් සමඟ විශාල දුමාරයක් නගින අයුරුත්, ගිනිගෙන විනාශ වූ මෝටර් රථ මෙන්ම හදිසි ප්‍රතිචාර මෙහෙයුම් නරඹන විශාල ජනකායක් ද දැකගත හැකියි.

ගින්නට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.