හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකා ගිනිගැනීම් සහ යේමනයේ ගැටුම් උත්සන්න වීමත් සමඟ සෞදි අරාබියේ රියාද් අගනුවරට එල්ල වන හුතී ප්‍රහාර හමුවේ වුවද, මෙම සතියේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ස්ථාවර මට්ටමක පැවති බව විදෙස් මාධ්‍ය පවසනවා.

සැපයුම් ලිහිල් වීමත් සමඟ මෙම මාසය තුළ බොරතෙල් මිල 14%කින් පහත වැටී ඇති අතර, ඊයේ වන විට බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83.62ක් ලෙස සටහන් වුණා.

දකුණු සෞදි අරාබිය සහ රියාද් අගනුවර ඉලක්ක කරගනිමින් හුතී කැරලිකරුවන් විසින් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරමින් සිටින අතර, ඉන් බොහොමයක් ගුවනේදීම විනාශ කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

මේ අතර, හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින තර්ජන මට්ටම ”දැඩි” තත්ත්වයක පවතින බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ආයතනය පවසනවා.

ඒ අනුව ඉදිරියේදී තවදුරටත් ප්‍රහාර එල්ල විය හැකි බවට ද ඔවුන් අනතුරු අඟවා තිබෙනවා.

ඉරානයට එරෙහි නාවික සම්බාධක අමෙරිකාව විසින් දැඩි කර ඇති පසුබිමක, යුද්ධය යළි ආරම්භ කළ හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරන්තරයෙන් ඉඟි පළ කරමින් සිටිනවා.

කෙසේවෙතත්, පවතින අස්ථාවරත්වය මධ්‍යයේ වුවද පසුගිය වසරට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අඩු මට්ටමකින් හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා බලශක්ති සැපයුම් සිදුවන අතර, සෞදි අරාබියේ නැගෙනහිර-බටහිර නල මාර්ගය වැනි විකල්ප මාර්ග හරහා ද තෙල් ප්‍රවාහනය ක්‍රියාත්මකයි.

පසුගිය පෙබරවාරි මාසයේදී ඉරානයට එරෙහි අමෙරිකානු-ඊශ්‍රායල යුද්ධය ආරම්භ වීමට පෙර බොරතෙල් බැරලයක මිල ඩොලර් 67ක් පමණ වූ අතර, ඊට සාපේක්ෂව වත්මන් තෙල් මිල තවමත් පවතින්නේ ඉතා ඉහළ මට්ටමකයි.