ස්කොට්ලන්තය පුරා ඉදිකිරීමට සැලසුම් කර ඇති මහා පරිමාණ කෘත්‍රිම බුද්ධි (AI) දත්ත මධ්‍යස්ථානවලට එරෙහිව 6,000කට අධික පිරිසක් ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවරදී දැවැන්ත විරෝධතා පාගමනක නිරත වී තිබෙනවා.
එඩින්බරෝහි රෝයල් මයිල් (Royal Mile) ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙම විරෝධතා පාගමන ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිටට ගමන් කර ඇති අතර, පරිසර සංවිධාන, වෘත්තීය සමිති, ප්‍රාදේශීය ප්‍රජා කණ්ඩායම් සහ දරිද්‍රතාවයට එරෙහි සංවිධාන ඇතුළු සංවිධාන 80කට අධික සංඛ්‍යාවක් ඊට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
තම ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත මෙම දත්ත මධ්‍යස්ථාන හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ විදුලි බිල ඉහළ යාම, අධික බලශක්ති පරිභෝජනය සහ පාරිසරික බලපෑම් සම්බන්ධයෙන් රජය නිසි අවධානයක් යොමු නොකරන බව විරෝධතාකරුවන්ගේ චෝදනාව වී තිබෙනවා.
දැනට ස්කොට්ලන්තයේ විදුලිබල පද්ධතියට සම්බන්ධ වීම සඳහා දත්ත මධ්‍යස්ථාන යෝජනා 28ක් පමණ ඉදිරිපත්ව ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ගිගාවොට් 8.9ක විදුලි ධාරිතාව ස්කොට්ලන්තයේ වත්මන් ශීත ඍතුවේ උපරිම විදුලි ඉල්ලුම මෙන් දෙගුණයකටත් වඩා වැඩි බවත් විරෝධතාව සංවිධානය කළ කණ්ඩායම් පෙන්වා දෙනවා.
මහා පරිමාණ තාක්ෂණික සමාගම්වල ලාභය වෙනුවෙන් රටේ සම්පත් භාවිත කිරීමට පෙර ඒ පිළිබඳව ජාතික මට්ටමේ සංවාදයක් සහ නිසි මහජන අදහස් විමසීමක් සිදුකළ යුතු බවද විරෝධතාකරුවන් ස්කොට්ලන්ත රජයෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර, ස්කොට්ලන්තයේ නවෝත්පාදන අමාත්‍ය ඇලින් ස්මිත් ප්‍රකාශ කර ඇත්තේ AI තාක්ෂණය හරහා ප්‍රජාවට සැලකිය යුතු ප්රතිලාභ හිමිවන බවයි.
කෙසේ වෙතත්, මෙගාවොට් 50ට වැඩි සියලුම නව දත්ත මධ්‍යස්ථාන ව්‍යාපෘති සඳහා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව ද ස්කොට්ලන්ත රජය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.




