වසර 14කට පසුව ස්පාඤ්ඤය පුරා පැවැත්වූ පළමු මහ වැඩවර්ජනය අතරතුර බාසිලෝනා නගරයේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ප්‍රචණ්ඩකාරී ගැටුම් හටගෙන තිබෙනවා.

නිවාස පිරිවැය සහ අධික ජීවන වියදමට එරෙහිව මෙලෙස එරට ප්‍රධාන වෘත්තීය සමිති විසින් සංවිධාන කළ මෙම වැඩවර්ජනය සඳහා දස දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටි බවයි විදෙස්  මාධ්‍ය වාර්තා කළේ.

මේ අතරින් අගනුවර වන මැඩ්රිඩ් හි පැවැති විරෝධතාවයට 1,20,000ක පමණ පිරිසක් එක්ව ඇති අතර බාසිලෝනා නගරයේ 50,000කට වැඩි පිරිසක් විරෝධතාවල නිරත වුණා.

බාසිලෝනා නගරයේදී මුහුණු ආවරණය කරගත් පිරිසක් කුණු බඳුන්වලට ගිනි තබමින් සහ වෙළඳසැල්වල වීදුරුවලට හානි සිදු කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු අතර, ඔවුන් පාලනය කිරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මෙම වර්ජනය හේතුවෙන් ස්පාඤ්ඤය පුරා ප්‍රවාහන සහ අනෙකුත් පොදු සේවාවන්ට ද දැඩි බාධා එල්ල වුණා.

කෙසේ වෙතත්, වෘත්තීය සමිති නායකයින් ප්‍රකාශ කරන්නේ මෙම මහ වැඩවර්ජනය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථක වූ බවයි.

ලබන  29 වනදා ස්පාඤ්ඤයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත පසුබිමක මෙම විරෝධතාවයන් හට ගැනීම විශේෂත්වයක්.