බංග්ලාදේශයේ බලයෙන් පහ කරන ලද අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාගේ සමීප ආධාරකරුවන් හත් දෙනෙකුට එරට අධිකරණයක් මගින් මරණ දණ්ඩනය නියම කර ඇත.
හිටපු නායිකා හසීනාගේ අවාමි ලීගය පක්ෂයේ සාමාජිකයන් වන මෙම පුද්ගලයින් හත්දෙනා, මිනීමැරුම් ඇතුළු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ මෙන්ම මිනීමැරුම් සඳහා අනුබල දීම සහ උසිගැන්වීම යන චෝදනාවලට වරදකරුවන් කරනු ලැබ තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩකා නුවර පිහිටි ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් විසින් අඟහරුවාදා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර, විනිසුරු නස්රුල් ඉස්ලාම් චෞධරි එහි මුලසුන හොබවනු ලැබූ බවයි.
මෙලෙස මරණ දණ්ඩනය නියම වූවන් අතර හිටපු තොරතුරු හා විකාශන රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් අලි අරෆත් සහ හසීනාගේ අවාමි ලීගය පක්ෂයේ මහ ලේකම් ඔබෙදුල් ක්වාඩර් ද වෙති. ඔවුන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා මෙන්ම ඝාතන උසිගැන්වීමේ චෝදනා ද එල්ල වී තිබිණි.
මෙම මර්දනකාරී ක්‍රියාමාර්ගවලට අදාළ නඩු විභාගවලින් මේ වන විට පුද්ගලයින් 68 දෙනෙකු වරදකරුවන් කර ඇති අතර, ඔවුන්ගෙන් 22 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර ඇත.
එහෙත්, ඉන් රැඳවුම් භාරයේ සිටින්නේ හතර දෙනෙකු පමණි.
රජය විසින් පත් කරන ලද ආරක්ෂක නීතිඥ එම්. හසන් ඉමාම් ප්‍රකාශ කළේ මෙම පුද්ගලයින් හත්දෙනා ඝාතන සඳහා සෘජුව සම්බන්ධ වී නොමැති බවත්, අධිකරණයට මරණ දණ්ඩනයට වඩා අඩු දණ්ඩනයක් ලබා දිය හැකිව තිබූ බවත්ය.




