අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය නිමා කිරීම සදහා අත්සන් තැබුණු මුලික අවබෝධතාවයෙන් පසුවත් ඊශ්‍රායලය සහ ලෙබනනය අතර තවදුරටත් ප්‍රහාර සිදුව තිබෙනවා.
පළමුව දකුණු ලෙබනනය වෙත ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එයින් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
යුද්ධය නිමා කිරීම සදහා අමෙරිකාව සහ ඉරානය අතර එළැඹි එකගතාව පිළිබද ඊශ්‍රායලය තවදුරටත් සිටින්නේ නොසතුටින්.
එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ තමන් සහ ජනාධිපති ට්‍රම්ප් සැමවිටම එකඟතාවයකින් කටයුතු නොකරන බවයි.
ගිවිසුම තිබුණත් නැතත් ඉරානයට න්‍යෂ්ටික අවි ලබා ගැනීමට ඉඩ නොදෙන බවත්, ගාසා, ලෙබනනය සහ සිරියාවේ සිටින ඊශ්‍රායල සේනාංක දිගටම එහි රඳවා තබන බවත් ඔහු අවධාරණය කළා.
මේ අතර අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය නිමා කිරීමේ මූලික අවබෝධතා ගිවිසුමට දැන් අත්සන් තබා අවසන් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ප්‍රංශයේ පැවැත්වෙන G7 රාජ්‍ය නායක සමුළුවේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ පිළිබද වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ මූලික අවබෝධතා ගිවිසුම සම්පූර්ණයෙන්ම අත්සන් කර අවසන් බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදී මෙම ඓතිහාසික ගිවිසුමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් ගාලිබාෆ් විද්‍යුත් ක්‍රමයට අත්සන් තබා තිබෙනවා.
මෙමඟින් දෙපාර්ශවය අතර දින 60 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරෙන අතර, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳ තාක්ෂණික සාකච්ඡා මේ සතියේම ආරම්භ කිරීමට නියමිතයි.
පිටු එකහමාරක පමණ කෙටි ලියවිල්ලක් වන මෙම ගිවිසුම මඟින් ඉරානය කලාපීය සාමය සුරැකීමට සහ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අරමුදල් සැපයීම නැවැත්වීමට එකඟ වී තිබෙනවා.
එමෙන්ම ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීම වැළැක්වීම මෙහි ප්‍රධානතම කොන්දේසියක්.
මේ අතර, ගිවිසුමට අත්සන් තැබීමත් සමග අමෙරිකාව විසින් පනවා තිබූ නාවික අවහිරතා ඉවත් කෙරුණා.
ඒ අනුව ඉරාන තෙල් නැව් තුනක් සහ භාණ්ඩ ප්‍රවාහන නැව් දෙකක් හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ලබන සිකුරාදා වන විට හොර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කරන බව ද ජනාධිපති ට්‍රම්ප් පවසනවා.
කෙසේවෙතත් ඊට පරස්පරව ඉරානය තවමත් පවසන්නේ හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නැව්වලින් ගාස්තු අය කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.
මෙසේ තිබියදී ගිවිසුමේ සම්පූර්ණ විස්තර තවමත් නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කර නැහැ.
ලබන සිකුරාදා ජිනීවා නුවරදී පැවැත්වෙන නිල උත්සවයෙන් පසු එය ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි.
මෙම ගිවිසුම සඳහා පාකිස්ථානය සහ කටාර් රාජ්‍යය මැදිහත් වී ඇති අතර, බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය යන රටවල් ද මෙම පියවර අගය කරමින් ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.




