චීනයේ උතුරු ප්‍රදේශයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් මිය ගිය පිරිස 90 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, මෙම අනතුර සිදුව ඇත්තේ ෂැන්ෂි ප්‍රාන්තයේ පිහිටි ටොන්ෂෝව් සමූහයට අයත් ලියුෂෙන්යු ගල් අඟුරු පතලේදීයි බවයි.

පිපිරීම සිදුවන අවස්ථාවේ පතල තුළ සේවකයින් 247 දෙනෙකු සේවයේ නිරතව සිට තිබෙනවා.

ප්‍රාදේශීය වේලාවෙන් සිකුරාදා රාත්‍රී 7ට පමණයි පිපිරීම සිදුව තිබෙන්නේ.

අනතුරෙන් පසු විශාල ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, චීන හදිසි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ගලවා ගැනීමේ කණ්ඩායම් 6කින් සමන්විත නිලධාරීන් 345 දෙනෙකු මෙහෙයුම සඳහා යොදවා ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයින් 100කට වැඩි පිරිසක් මේ වන විට රෝහල්ගත කර තිබෙනවා. තවත් පිරිසක් සොයා මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙන බවයි චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ.

පාතාල තුළ කාබන් මොනොක්සයිඩ් වායුවේ මට්ටම සීමාව ඉක්මවා ඇති බවද සඳහන්.

කාබන් මොනොක්සයිඩ් ඉතා විෂ සහිත නමුත් ගඳක් නොමැති වායුවක්.

මේ අතර, අනතුර සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං උපදෙස් ලබාදී තිබෙනවා.

තුවාල ලැබූවන්ගේ ජීවිත බේරා ගැනීම සහ තවදුරටත් දිවි ගලවාගෙන සිටින පුද්ගලයින් සොයා ගැනීම සඳහා සියලු උත්සාහ ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවයි චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ.

අනතුරට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව චීන බලධාරීන් සඳහන් කර තිබෙනවා.

මේ වනවිට පතල පවත්වාගෙන ගිය නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සදහන්.

ෂැන්ෂි ප්‍රාන්තය චීනයේ ප්‍රධාන ගල් අඟුරු නිෂ්පාදන කලාපයක් ලෙස සැලකෙනවා.

2000 දශකයේ මුල් භාගයේදී චීනයේ ගල් අඟුරු පතල් අනතුරු බහුලව වාර්තා වුවද, පසුව ආරක්ෂක නීති දැඩි කර තිබුණා.

එසේ වුවත්, තවමත් මෙවැනි මාරක අනතුරු වාර්තා වීම කනගාටුවට කරුණක්.

2023 වසරේදී ද අභ්‍යන්තර මොංගෝලියා ප්‍රදේශයේ විවෘත ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් තිබුණා.

එමෙන්ම 2009 වසරේදී හෙයිලොන්ජියෑන් ප්‍රාන්තයේ ගල් අඟුරු පතලක සිදුවූ තවත් පිපිරීමකින් 100කට වැඩි පිරිසක් මිය ගියා.

චීනය මේ වන විට ලොව විශාලතම ගල් අඟුරු පාරිභෝගිකයා ලෙස සැලකෙන අතර, ලොව වැඩිම හරිතාගාර වායු නිකුත් කරන රට ද වන්නේ චීනයයි.