කොංගෝ ජනරජයේ සිදුවූ දරුණු ගුවන් අනතුරකින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොංගෝ හමුදාවේ අධිකරණ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් මුටොම්බෝ කටාලයි සහ සන්නද්ධ හමුදා විගණන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් බකුමි ලිකුලියා මියගිය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනා වන බවයි.
කොංගෝ හමුදාවද මේ බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
අනතුරට ලක්ව තිබෙන්නේ නිරිතදිග කික්විට් නගරයේ සිට අගනුවර වන කින්ෂාසා දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක්.
ගුවනේදීම හදිසි කාර්මික දෝෂයකට ලක්වීමෙන් යානය කෙන්ගෙ ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා.
කෙසේ වෙතත් සිදුව ඇති කාර්මික දෝෂය කුමක්ද යන්න හෝ එවැනි කාර්මික දෝෂයක් ඇති වීමට හේතුව කුමක්දැයි තවමත් නිල වශයෙන් තහවුරු කර නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර තිබෙන බවයි කොංගෝ සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ.
තවත් විශේෂත්වයක් වන්නේ මෙම අනතුර සිදුවන්නේ කොංගෝහි නැගෙනහිර කලාපයේ පවතින උණුසුම් ආරක්ෂක තත්ත්වය මධ්‍යයෙහියි.
රුවන්ඩාවේ සහාය ලබන M23 කැරලි කණ්ඩායම ඇතුළු සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් ප්‍රධාන නගර කිහිපයක බලය අල්ලා ගෙන ඇති අතර කොංගෝ හමුදාව එම කැරලිකරුවන්ට එරෙහිව මේ වනවිට දැඩි හමුදා මෙහෙයුමක නිරතව සිටිනවා.
ආරක්ෂක තත්වය උණුසුම් වී තිබෙන්නේ ඒ හේතුවෙන්.




