පන්දුවාර විස්සයි විස්ස ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා අතින් එම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඊයේ පැවති අවසන් මහා තරගයෙන් පසු පිටියේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවුණා.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වන්නේ පකිස්ථාන අමාත්‍යවරයෙකුද වන මොහ්සින් නක්වි.
මීට පෙර අවස්ථාවකදී ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමද ඔහු අතින් කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා.
දැන් මෙවර ඊයේ පැවති අවසන් මහා තරඟයෙන් පසුව ඉන්දීය කාන්තා කණ්ඩායමද කියා සිටියේ මොහ්සින් නක්වි අතින් කුසලානය ලබා නොගන්නා බවයි.
තරඟයෙන් පසු පැවති ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා සහභාගි වීමද ඔවුන් ප්‍රතික්ෂේප කළා.
පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය මෙවර පැවැත්වුණේ ඩුබායිහිදී.
අවසන් මහා තරඟය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
ඉන්දියාව මෙහිදී කුසලානය දිනා ගත්තේ ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජය කරමින්.
තරගය අවසන් වන විට ඩුබායිහි වේලාව රාත්‍රී 9:50 පමණ වී තිබුණා.
එහෙත් ඇති වූ මතභේදයන් හේතුවෙන් ත්‍යාග ප්රදානෝත්සවය ආරම්භ කලේ තරඟය අවසන් වී විනාඩි 45කට වඩා වැඩි කාලයක් ප්රමාදවයි.
මෙලෙස ප්‍රමාද වී ආරම්භ වූ ත්‍යාග ප්‍රධානෝත්සවයේදී තරගාවලියේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මොහ්සින් නක්වි අතින් පදක්කම් පිරිනැමුණා.
නමුත් ඉන්දීය කණ්ඩායම උත්සවයට පැමිණීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ට ශූරතා කුසලානය හෝ පදක්කම් පිරිනැමීම මෙහිදී සිදු වූයේ නැහැ.
තරගයේ සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවන් සඳහා වන පුද්ගලික සම්මාන පිරිනැමීමද අත හැර දැමුණා.
ඉකූත් 2025 වසරේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ හමුදාමය හා දේශපාලනික උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ඉන්දියාව මෙලෙස මොහ්සින් නක්වි අතින් කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි පැවසෙන්නේ.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා මෙන්ම පාකිස්තානයේ ප්‍රධාන දේශපාලන නායකයෙකුද වන මොහ්සින් නක්වි අතින් කුසලාන ලබා නොගැනීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණයක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අමෝල් මුසුම්දාර් සඳහන් කළේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගනු ලැබූ තීරණය වෙනුවෙන් තමන් පෙනී සිටින බවයි.
තරගාවලිය දැන් අවසන් බවත් තරග ප්‍රතිඵල අනුව ශූරයන් වීම තමන්ට ප්‍රමාණවත් බවත් ඔහු ප්‍රකාශ කළා.
ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික මත ගැටුම් හේතුවෙන් ඉකුත් කාලය පුරාවටම ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති තරගවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතට අත දීම පවා සිදු කළේ නැහැ.
කෙසේ වෙතත්, ඉදිරියේදී ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේදී ඉන්දීය සහ පාකිස්තාන පිරිමි සහ කාන්තා කණ්ඩායම් නැවතත් තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.




