පාකිස්ථානය සහ ඉරානය අතර පිහිටි ප්‍රධාන දේශසීමා ගමනාගමන පර්යන්ත දෙකක් වසා දැමීම හේතුවෙන් ඉරානයෙන් පාකිස්ථානයට ද්‍රවීකෘත පෙට්‍රෝලියම් ගෑස් (LPG) ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවත්, එමගින් රට තුළ ගෑස් හිඟයක් ඇතිවී මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවත් ව්‍යාපාරිකයෝ පවසති.
ඔක්තෝබර් 17 වනදා මෙසේ වසා දමන ලද්දේ ගාබ්ඩ්-රිම්දාන් සහ තෆ්තාන් යන දේශසීමා පර්යන්තයි.
කෙසේ වෙතත්, මෙම පියවර සඳහා දෙරට ලබා දී ඇත්තේ වෙනස් හේතූන් ය. ආරක්ෂක ගැටලු විසඳීම සහ ජාවාරම් මර්දනය කිරීම සඳහා මෙම තාවකාලික වසා දැමීම සිදු කළ බව අදාළ දේශසීමා පිහිටි පාකිස්ථානයේ බලෝචිස්ථාන ප්‍රාදේශීය ආණ්ඩුව ප්‍රකාශ කළ අතර, ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ තාක්ෂණික දෝෂ හේතුවෙන් මෙය සිදු කළ බවයි.
පාකිස්ථාන LP ගෑස් සංගමයට අනුව, පාකිස්ථානය ඉරානයෙන් දිනකට මෙට්‍රික් ටොන් 7,000 ක පමණ LPG ප්‍රමාණයක් ආනයනය කරයි. ග්වාඩර් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ හිටපු සභාපති ෂම්සුල් හක් පැවසුවේ ගාබ්ඩ්-රිම්දාන් පර්යන්තය හරහා පමණක් දිනකට මෙට්‍රික් ටොන් 4,000 කට වැඩි ප්‍රමාණයක් ඇතුළු වන බවයි.
මෙම සියලු ආනයනයන් මේ වන විට නතර වී ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම ඉරානය වෙත අපනයනය කිරීම සඳහා අර්තාපල්, කෙසෙල් සහ සහල් පටවන ලද පාකිස්ථාන කන්ටේනර් 1,000 කට වැඩි ප්‍රමාණයක් ද මඟ අතරමං වී ඇති බව ඔහු පැවසීය. කෙසේ වෙතත්, ඉවත දමන තත්වයට පත්වන ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම සඳහා ගාබ්ඩ්-රිම්දාන් පර්යන්තය බදාදා දිනයේදී නැවත විවෘත කර ඇත.
දින කිහිපයක් ඇතුළත කිලෝග්‍රෑම් 12 ක LP ගෑස් සිලින්ඩරයක මිල පාකිස්ථාන රුපියල් 4,500 සිට රුපියල් 7,000 දක්වා ඉහළ ගොස් ඇති බවත්, මෙම බාධාවන් තවදුරටත් පැවතුණහොත් මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවත් ව්‍යාපාරිකයෝ අනතුරු අඟවති.




