අමෙරිකාවේ නිව් ඕර්ලියන්ස් හි නැංගුරම් ලා තිබූ සුඛෝපභෝගී මගී නෞකාවක තෙල් ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුරකින්, පුද්ගලයින් 130 දෙනෙකු පමණ නිරුපද්‍රිතව බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 32 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර,  භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ගැටුණු ‘අමෙරිකන් හෙරිටේජ්’ මගී නෞකාව මිසිසිපි ගඟේ පසෙකට පෙරළී ගිලී යාමේ අවදානමකට ලක්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත්, නෞකාවේ සුක්කානම් පද්ධතියේ යම් දෝෂයක් ඇති වී තිබෙන බවට පෙනී යන බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකායේ කපිතාන් මෙලනි බර්න්හැම් සඳහන් කළා.

සුඛෝපභෝගි නෞකාවට ජලය කාන්දු වී එය පසෙකට ඇලවීමට පටන් ගැනීමත් සමඟ මගීන් ඉන් ඉවත් වීමට උත්සාහ කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ නෞකාව තුළ කාර්ය මණ්ඩලයට අමතරව මගීන් 129 දෙනෙකු පමණ සිටි බවයි වාර්තා වන්නේ.

වහාම ක්‍රියාත්මක වූ ටග් යාත්‍රා ක්‍රියාකරුවන්, පොලීසිය සහ අනෙකුත් ගලවා ගැනීමේ කණ්ඩායම් මගීන් බේරා ගැනීමට කටයුතු කළ අතර, සෝදිසි මෙහෙයුම් සඳහා මිසිසිපි ගඟ තාවකාලිකව වසා දැමීමට ද පියවර ගැනුණා.

මෙම ‘අමෙරිකන් හෙරිටේජ්’ සුඛෝපභෝගි නෞකාව ලුසියානා සහ මිසිසිපි ප්‍රාන්ත හරහා  දින අටක සංචාරයක් නිමා කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

මෙම ගලවා ගැනීමේ මෙහෙයුම ”ඇදහිය නොහැකි විශිෂ්ට කාර්යයක්” බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රශංසා කර තිබෙනවා.

එමෙන්ම ප්‍රාන්ත ආණ්ඩුකාර ජෙෆ් ලැන්ඩ්‍රි ද මෙය ”මිසිසිපි ගඟේ ප්‍රාතිහාර්යයක්” ලෙස හඳුන්වමින් සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවට ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිද්ධිය ඇසින් දුටු ජේමි හොල්ෆර්ඩ් පැවසුවේ, ''ඒක හරියට යුද චිත්‍රපටයක ශබ්දයක් වගෙයි. වානේ ටොන් ගණනක් එකට ඇඹරෙන ශබ්දයක් ඇහුණා. ඒක හරියට ‘ටයිටැනික්‘ චිත්‍රපටයේ දර්ශනයක් වගෙයි. නැව ගිලෙද්දී මගීන් සහ කාර්ය මණ්ඩලය කෑගසමින් අඬමින් ඉන් පිටතට එන්න උත්සාහ කරනවා මම දැක්කා,” යනුවෙනි.

2015 වසරේදී ඉදිකරන ලද මෙම ‘අමෙරිකන් හෙරිටේජ්’ සුඛෝපභෝගි නෞකාව තට්ටු හතරකින් සමන්විත වන බවත්, එහි එකවර මගීන් 150 දෙනෙකුට පමණ ගමන් කිරීමේ පහසුකම් පවතින බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.