2025 ජනවාරි මාසයේ සිට මේ දක්වා අත්‍යවශ්‍ය ඛනිජ සම්පත් සම්බන්ධ ගිවිසුම් 15කට අත්සන් තබමින්, බලශක්ති සංක්‍රාන්තිය සඳහා අවශ්‍ය සම්පත් අත්පත් කර ගැනීමේ තරගකාරී ගෝලීය ප්රයත්නයේ ප්‍රමුඛතම රාජ්‍යයක් බවට ඉන්දියාව පත්ව තිබේ.
එවැනි ගිවිසුම් 41කට අත්සන් තබමින් ඇමරිකා එක්සත් ජනපදය එහි පෙරමුණ ගෙන සිටින නමුත්, ගිවිසුම් 11 බැගින් අත්සන් කර ඇති චීනය, කැනඩාව, සෞදි අරාබිය සහ යුරෝපා සංගමය අභිබවා යාමට ඉන්දියාව සමත්ව ඇත.
මෙම ශීඝ්‍ර වර්ධනය ජාත්‍යන්තර ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල සිදුව ඇති පුළුල් වෙනසක කොටසකි. ලිතියම්, කොබෝල්ට් , නිකල්, මිනිරන්, තඹ සහ දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය සැපයුම තහවුරු කර ගැනීම සඳහා රජයන් විසින් වෙළෙඳ ගිවිසුම්, අවබෝධතා ගිවිසුම් සහ ද්විපාර්ශ්වික සහයෝගීතා රාමු වැඩි වැඩියෙන් භාවිත කරමින් සිටී. විදුලි වාහන බැටරි සහ සුළං ටර්බයිනවල සිට විදුලිබල පද්ධති සහ අර්ධ සන්නායක දක්වා වූ සෑම නිෂ්පාදනයක් සඳහාම මෙම ඛනිජ වර්ග අත්‍යවශ්‍ය වේ.
තිරසර සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින් සිය යාවත්කාලීන කරන ලද වෙළඳ සහ දේශගුණික නිරීක්ෂක දත්ත ඇසුරෙන් සිදු කරන ලද විශ්ලේෂණයකට අනුව, 2025 ජනවාරි සහ 2026 සැප්තැම්බර් අතර කාලය තුළ අත්සන් කරන ලද වෙළෙඳ හා ආර්ථික ගිවිසුම් 211ක් හඳුනාගෙන ඇති අතර, ඒවායේ අත්‍යවශ්‍ය ඛනිජ, බලශක්තිය, දේශගුණික පාලනය හෝ බැර කර්මාන්ත කාබන්හරණය කිරීම පිළිබඳ විධිවිධාන ඇතුළත් වේ. මෙම ගිවිසුම් අතරින් 139ක්, එනම් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සම්බන්ධ ගිවිසුම් වේ.
නොවැම්බර් 9 වැනිදා තුර්කියේ අන්තාලියා නුවරදී ආරම්භ වන COP31 දේශගුණික සමුළුවට ආසන්නව නිකුත් කරන ලද මෙම සොයාගැනීම් මගින් වැදගත් ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. එනම් දේශගුණික විපර්යාසවලට එරෙහි ක්‍රියාමාර්ග සඳහා වෙළෙඳාම වඩ වඩාත් වැදගත් ක්ෂේත්රයක් බවට පත්වෙමින් තිබීමයි. කෙසේ වෙතත්, හරිත සංක්‍රාන්තිය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සුරක්ෂිත කර ගැනීමට රටවල් දක්වන දැඩි උනන්දුව සහ එම ගිවිසුම්වල කොටසක් ලෙස දේශගුණික වගකීම් ඇතුළත් කිරීමට ඔවුන් දක්වන කැමැත්ත අතර පැහැදිලි පරතරයක් පවතින බවද මෙම වාර්තාව මගින් අනාවරණය කරයි.




