2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තවත් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට බ්‍රසීලය අද සමත් වුණා.

ඒ ස්කොට්ලන්තය ගෝල 3ට 0ක් ලෙස පරාජය කරමින්.

මේ සමග මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ස්කොට්ලන්ත ඉදිරි බලාපොරොත්තු දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.

ඇමරිකාවේ මියාමි ක්‍රීඩාංගණයේ දියි තරඟය පැවැත්වුණි.

මෙහිදී ස්කොට්ලන්ත පසුපෙළ ක්‍රීඩකයින් අතින් සිදු වූ බරපතළ වැරදිවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට බ්‍රසීල ක්‍රීඩකයින් සමත් වුණා.

තරගය ආරම්භ වී මිනිත්තු 7ක් වැනි කෙටි කාලයකදී ස්කොට්ලන්ත ක්‍රීඩකයෙකු අතින් සිදු වූ වැරදීමක් ප්‍රයෝජනයට ගනිමින් බ්‍රසීලයේ විනිසියස් ජූනියර් පළමු ගෝලය වාර්තා කළා.

පළමු අර්ධය අවසන් වීමට අතිරේක කාලය ලබා දී තිබියදී විනිසියස් ජූනියර් නැවතත් ක්‍රියාත්මක වෙමින් බ්‍රසීලය වෙනුවෙන් දෙවන ගෝලයත් ලබා ගත්තා.

තරගයේ 60 වන මිනිත්තුවේදී මැතිව්ස් කුන්හා බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් තෙවන ගෝලය වාර්තා කරමින් ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කළා.

මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ බ්‍රසීලය සී කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත්, තරගාවලියේ තුන්වන ස්ථානය ගන්නා හොඳම කණ්ඩායම් 8 අතරට තේරී පත්වෙමින් ඊළඟ වටයට සුදුසුකම් ලැබීමේ සුළු බලාපොරොත්තුවක් ස්කොට්ලන්තයට තවමත් තිබෙනවා.

ඒ සඳහා ඔවුන්ට ලබන ඉරිදා දිනය දක්වා සෙසු කාණ්ඩවල තරග ප්‍රතිඵල ලැබෙන තුරු දැඩි නොඉවසිල්ලකින් බලා සිටීමට සිදු වනු ඇති.