ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.
ශ්‍රි ලංකාව අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතව තිබුණේ නේපාලය සමගයි.
එහෙත් වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ ක්‍රීඩා නොකර තරගය අතහැර දැමුණා.
ඒ අනුව ශ්‍රේණිගත කිරීම් සලකා තරගයේ ජය තීරණය කෙරුණු අතර අවසන් පූර්ව වටය සදහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගත්තේ එහිදීයි.
මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සෙසු තරගද වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන් අතහැර දැමුණා.
එක් තරගයක් පැවැත්වීමට නියමිතව තිබුණේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතරයි. දෙවන තරගය පකිස්තානය සහ හොංකොං අතරත් අනෙක් තරගය බංග්ලාදේශය සහ මැලේසියාව අතරත් පැවැත්වීමට නියමිතව තිබුණා.
ඒ අනුව එම තරගවල ජයග්රාහකයන්ද තීරණය කෙරුණේ ශ්‍රේණිගත කිරීම් සලකායි.
ඉන්දියාව, පකිස්තානය සහ බංග්ලාදේශය එහිදි අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගත්තා.
අවසන් පූර්ව තරග අනිද්දා පැවැත්වීමට නියමිතයි.
පළමු අවසන් පූර්ව තරගයේදි පකිස්තානය සහ බංග්ලාදේශය තරග වදිනවා.
දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.
මෙම තරගවලින් ජය ගන්නා කණ්ඩායම් රන් පදක්කම සදහා වන අවසන් තරගයට සුදුසුකම් ලබනවා.
පරාජිත කණ්ඩායම් ලෝකඩ පදක්කම සදහා තරග වදිනු ඇති.
මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.




