ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය හේතුවෙන් මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වයට මෑතකදී පාර්ලිමේන්තුවට ගෙන එන ලද දේශීය ආදායම් සංශෝධන පනතට අනුව විසඳුමක් ලබා ගැනීමට හැකිවේදැයි පැහැදිලි කරන ලෙස අභියාචනාධිකරණය එම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා එක් දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල නායකයන් වන ධනංජය ද සිල්වා, චරිත් අසලංක මෙන්ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳ වූ අවස්ථාවේදීයේදි.
තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ සලකා තමන්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔවුන් එම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
ඒ අනුව මෙම කරුණට අදාළ ලිඛිත සැලකිරීම් තිබේ නම් ඒවා සතියක කාලයක් තුළ ගොනු කරන ලෙස පාර්ශව කරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල මෙම නඩුකරවලට අදාල තීන්දුව අගෝස්තු මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බවත් නිවේදනය කළා.




