කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන්.
ලබන ඔක්තෝබර් 04 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන එම පොත් ප්‍රදර්ශනය සංවිධාන කර ඇත්තේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයයි.
ඒ අනුව පොත් ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 4 වනදා දක්වා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මහජනතාව සඳහා විවෘතව තැබෙනවා.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සදහා මෙවරද නිල රේඩියෝව ලෙස කටයුතු කරන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.
නෙත් එෆ් එම් රේඩියෝව මගින් ද ප්‍රදර්ශණ භූමියේ විශේෂ කුටියක් ස්ථාපිත කර තිබෙනවා.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නවතම තොරතුරු එම ප්‍රදර්ශණ භූමියේ ස්ථාපිත නෙත් විශේෂ කුටියේ රැදී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමන්ත කුමාරගෙන්.
''27 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් අද පෙරවරුවේ ආරම්භ වුණා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් තමයි මේ සමාරම්භ උත්සවය පැවැත්වුණේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් අබේසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියා. ඒ විතරක් නෙවෙයි පාඨක ජනතාව විශාල පිරිසක් සමාරම්භක අවස්ථාව වන විටත් මේ පරිශ්‍රයට එක්ව සිටියා මෙවර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා. ඉතින් ඔබ දන්නවා දීර්ඝ කාලයක් පුරාවට මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ සහකරු වශයෙන් කටයුතු කරන්නේ නෙත් එෆ්.එම්. මෙවරත් ප්‍රදර්ශන පරිශ්‍රයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වනවාත් සමගම වම් පැත්තේ නෙත් එෆ්.එම් කුටිය සුපුරුදු ස්ථානයේ පිහිටා තිබෙනවා. ඉතින් පසුගිය වතාවේදී මෙන්ම මෙවරත් අවශ්‍යතා සහිත පාසල්වල දූ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන, පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන වෙනුවෙන් 'පොත් කැටය', 'නෙත් පොත් කැටය' මෙවරත් ක්‍රියාත්මකයි. අද උදෑසන ප්‍රදර්ශනය ආරම්භ වී කෙටි වේලාවක් ගතවන විටත් විශාල පිරිසක් පැමිණ පොත් කැටයට පොත් පරිත්‍යාග කිරීමට එක් වුණා. එපමණක් නොවෙයි මෙවර තවත් විශේෂත්වයක් තිබෙනවා නෙත් එෆ්.එම් කුටියේ. ඒ තමයි නෙත් එෆ්.එම් 'ඇල්ෆා ස්ටුඩියෝ' වැඩසටහන. එහි ඔබ දන්නවා අපේ පාසල් දූ දරුවන්ට සුවිශේෂී අවස්ථාවක් තිළිණ කරන වැඩසටහනක්. ඇල්ෆා ස්ටුඩියෝ වැඩසටහන හා එක්වන්නට හඬ පරීක්ෂණ මැදිරියක් නෙත් එෆ්.එම් කුටිය තුළ ස්ථාපිත කර තිබෙනවා. පාසල් දූ දරුවන් රැසක් දැනටමත් ඉතාමත් උනන්දුවෙන්, උද්‍යෝගයෙන් පැමිණ තම හඬ පරීක්ෂණය මෙහිදී සිදු කරගන්නා ආකාරය මේ වන විටත් මේ පරිශ්‍රය තුළ අපට දැකගන්නට ලැබෙනවා. බොහොම උද්‍යෝගයෙන් තමයි ඒ දූ දරුවන් මීට එක්ව සිටින්නේ. මෙ ආකාරයට තමයි නෙත් එෆ්.එම් කුටිය වෙත පැමිණියොත් බොහෝ අත්දැකීම් ලබාගන්නට අපේ රටේ පාසල් දූ පුතුන්ට, විශේෂයෙන්ම අවකාශය සංසාදා තිබෙනවා. අපේ රටේ අනාගතය වෙනුවෙන් නිරන්තරයෙන්ම හිතන, ඒ වෙනුවෙන් කැපවෙන රේඩියෝ නාලිකාවක් විධියට තමයි නෙත් එෆ්.එම් රේඩියෝව මෙවර මේ කටයුත්ත කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එකතු කර තිබෙන්නේ. මෙ ආකාරයෙන් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක දිනයේ පළමු භාගයේ කටයුතු සිදුවන්නේ. තවත් තොරතුරු අපි සූදානම් ඔබට සමීප කරන්නට නෙත් රේඩියෝව ඔස්සේ, ඒ වගේම නෙත් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ, නෙත් එෆ්.එම් යූටියුබ් නාලිකාව සහ ෆේස්බුක් පිටුව ඔස්සේ ඔබට පුළුවන් මේ පිළිබඳ තොරතුරු දැනගන්නට.''
මේ අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් රචනා කරන ලද එකට ගැටුම කෘතිය පිළිබඳ විද්වත් විවරණයක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පරිශ්‍රයේ හෙට සිදු කෙරෙනවා.
හිටපු අමාත්‍යවරයා මෙම කෘතිය රචනා කර ඇත්තේ ශ්‍රී ලාංකේය දේශපාලන උදාහරණද සහිතව ලෝක බලවතුන් විසින් ලෝකය තමන්ට වූවමනා පරිදි හසුරුවා ගැනීම සඳහා උපක්‍රම යොදාගන්නා ආකාරය පිළිබඳ විස්තර කරමින්.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේදී හෙට ඒ පිළිබඳ විවරණය සිදුකිරීමට නියමිතව සිටින්නේ කීර්තිමත් රාජතන්ත්‍රික නිලධාරියකු වන ආචාර්ය පාලිත කොහොන මහතායි.
කෘතිය රචනා කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූවා.
"මා විසින් රචිත 'එකට ගැටුම' නමැති කෘතිය අපි පහුගිය මැයි 25 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදක්වන ලැබුවා. එහි පළමු මුද්‍රණය විකිණී අවසන් වුණා. එහි ප්‍රධාන තේමාව තමයි දැනට ලෝකයේ මේ විසන්ධිස්ථාන, එහෙම නැත්නම් Choke Points, ඒ ඔය හෝමූස් සන්දිය, බැබ් එල් මැන්ඩෙබ්, ඒ වගේ දේවල් වල සිදුවෙන ඒ ගැටුම්කාරී තත්ත්වයන්වල දේශපාලන, ආර්ථික පසුබිම. විශේෂයෙන්ම එක්සත් ජනපදයත්, චීනයත් අතර පළමු වෙනියා වීමට තිබෙන ඒ අරගලය, ඒක කොහොමද කෙළවර වෙන්නේ, ඒක කොහොමද ලංකාව වගේ රටවල්වලට බලපාන්නේ කියන එක තමයි ඒ කෘතියේ තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙත් වැඩ කරපු, ඒ වගේම ශ්‍රී ලංකාවෙත් කාලයක් අර්බුදකාරී සමයක විදේශ ලේකම් හැටියට කටයුතු කරපු ආචාර්ය පාලිත කොහොන විවරණයක් කරනවා 26 වෙනිදා, ඒ කියන්නේ සෙනසුරාදා හවස 4.00 ට. ඒ පිළිබඳව තිබෙන ඒ මණ්ඩපයේ, සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාව ආසන්නයේ, සරසවි පොත් ශාලාව ආසන්නයේ පවතින ඒ මණ්ඩපයේ. ඉතින් අපි ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම ඒකට සහභාගී වෙන්න කියලා. ඒ වගේම විශේෂ වට්ටමකින් යුතුව මේ පොත මිලදී ගැනීමේ හැකියාවත් එතනදී ඔබට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි 27 වෙනිදා හවස 3.00 ට සරසවි පොත් ශාලාවේදී මගේ අත්සන සහිතව මේ පොත ලබා ගැනීමේ හැකියාවත් ඔබට තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් දායක වෙන හැටියට ඔබ සියලු දෙනාටම කාරුණික ආරාධනයක් කරනවා. පිටු 650 ක් පුරා තිබෙන මේ කෘතිය ඔබට මිලදී ගැනීමට පුළුවන් වට්ටමක් සහිතව."








