පුද්ගලයින් 24 දෙනෙකුට දිවි අහිමි වූ ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදුවූ රිය බස් රථ අනතුර සිදුවී අදට වසරක් සපිරෙනවා.

ඒ වෙනුවෙන් අනතුර සිදුවූ ස්ථානයේදී මියගිය පුද්ගලයන්ට පින් අනුමෝදන් කරමින් සහ අනතුරින් තුවාල ලබා තවදුරටත් ප්‍රතිකාර ලබන පුද්ගලයන්ට සෙත් පතා සර්ව ආගමික වතාවත් සිදුවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කොත්මලේ පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව එම ආගමික වතාවත් සංවිධාන කර තිබුණා.

මිට අමතරව අන්‍යආගමික නායකයින්ද එම ස්ථානයට කැදවා එම ආගමික වතාවත් සිදුකෙරුණු බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

කතරගම සිට නුවරඑලිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වු ලංගම බස් රථය කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වුණේ ගිය වසරේ මැයි 11 වනදා අලුයම 4:30ට පමණයි.

එහිදී එම බස් රථය ප්‍රපාතයකට පෙරළී ගියා.

එහිදී බස් රථෙය් ගමන් ගත් රියදුරා ඇතුලු 24 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී තවත් මගීන් 40 දෙනෙකු පමණ බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය, ගම්පොළ සහ මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කෙරුණා.

බස් රථයේ රියදුරාට නින්ද යෑම අනතුරට හේතුවී ඇති බවට එම අනතුර සම්බන්ධයෙන් සොයා බැලිමට පත් කල විශේෂ පරික්ෂණ කමිටුවක් විසින් තිරණය කර තිබුණා.