මෙම වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 110,431 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඩෙංගු මරණ 82ක් ද සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

පසුගිය වසර 25ක කාලය සැලකීමේදී, වසරක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගිය තෙවන අවස්ථාව මෙය වන බවයි එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේදී මෙරටින් වාර්තා වී තිබුණේ ඩෙංගු මරණ 29ක් පමණක් වුවත්, මෙම වසරේදී ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව ඇය සඳහන් කළා.

මේ අතර ඊසානදිග මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන තවදුරටත් ඉහළ යා හැකි බැවින්, සතියකට අවම වශයෙන් විනාඩි 30ක කාලයක් හෝ වැය කර තම පරිශ්‍රය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරන ලෙසයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.