ලීසිං පහසුකම් සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද නව රෙගුලාසි වාහන මිල මත බලපෑමක් ඇති කරනු ඇද්දැයි නෙත් නිවුස් විමසා බැලීමක් කළා.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය එහිදී කියාසිටියේ මෙම රෙගුලාසි නිසා වාහන මිල වෙනස් නොවනු ඇති බවයි එහෙත් පවතින වෙනත් තත්ත්වයන් මත වාහන මිල වෙනස් විය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතර ඇතැම් බැංකු හෝ මූල්‍ය ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද රෙගුලාසි මගහැර යාම සදහා කූඨ උපක්‍රම භාවිත කළ හැකි බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය  කියාසිටියේ.

එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමටද අවධානය දිය යුතු බව මෙහිදි අවධාරණය කෙරුණා.

මේ අතර වාහන ණය සහ ලීසිං පහසුකම් සම්බන්ධයෙන් නව සීමා පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය ඉතා කාලෝචිත බව  කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුරංග ද සිල්වා මහතා  පැවසුවා.

ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ණය සහ ලීසිං පහසුකම් සම්බන්ධයෙන් පැනවූ නව සීමා අද සිට ක්‍රියාත්මකයි.

ඒ අවුය මෙම නව නීති අනුව, වාහනයක වටිනාකමින් සම්පූර්ණ මුදලට ආසන්න ප්‍රමාණයක් ණය ලෙස ලබා ගැනීමට තවදුරටත් නොහැකි වනවා.

අලුතින් ලියාපදිංචි කරන හෝ ලියාපදිංචි කර වසරකට අඩු කාලයක් භාවිතා කළ පුද්ගලික වාහන සඳහා ලබාදෙන ණය සහ ලීසිං සීමාව සියයට 40ක් දක්වා අඩු කර තිබෙනවා.

මෙයට කාර්,SUV වර්ගයේ වාහන, වෑන් රථ, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ඇතුළත්.

ඒ අනුව රුපියල් ලක්ෂ 100ක වටිනාකමක් ඇති කාර් රථයක් මිලදී ගන්නේ නම්, බැංකුවකින් හෝ ලීසිං ආයතනයකින් ලබාගත හැක්කේ ලක්ෂ 40ක් පමණයි.

ඉතිරි ලක්ෂ 60 තමන් විසින් ගෙවිය යුතු වනවා.

මේ අතර, ලොරි, සිංගල් කැබ් සහ වෙනත් ප්‍රවාහන වාහන වැනි වාණිජ වාහන සඳහා වාහනයේ වටිනාකමින් සියයට 60ක් දක්වා ණය ලබාගත හැකි බවයි මහ බැංකුව සඳහන් කළේ.

එමෙන්ම, ලියාපදිංචි කර වසරකට වැඩි කාලයක් භාවිතා කළ වාහන සඳහාද උපරිම ණය සීමාව සියයට 60ක් ලෙස නියම කර තිබෙනවා.

මහ බැංකුව පවසන්නේ වාහන වෙළඳපොළ වෙත අධික ලෙස ණය මුදල් ගලායාම පාලනය කිරීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ අතර රන් භාණ්ඩ ඇපයට තබා ලබාදෙන ණය පහසුකම් සඳහා වන උපරිම ණය වටිනාකම් අනුපාතය ද අද සිට සීමා කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය තහවුරු කිරීම සහ අවදානම් අවම කිරීම අරමුණු කරගනිමින් එම පියවර ගත් බවයි.

ඒ අනුව, සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් මඟින් රන් භාණ්ඩ ඇපයට තබා ලබාදෙන ණය පහසුකම්, එම රන් භාණ්ඩවල වටිනාකමෙන් 70% ක උපරිම සීමාවකට යටත් විය යුතු වනවා.

මෙම සීමාව නව ණය පහසුකම් සඳහා මෙන්ම, පවතින ණයක් නැවත අලුත් කිරීමේදී ද එකසේ අදාළ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.

මෙම නියෝගය සාමාන්‍ය උකස් පහසුකම්, රන් ණය සහ රන් භාණ්ඩ ඇපයට තබා ගනිමින් ලබාදෙන වෙනත් ඕනෑම ආකාරයක ණය හෝ මූල්‍ය පහසුකම් සඳහා වලංගු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවා.

ණය පහසුකම් ලබාදීමේදී ඇපයට ගන්නා රන් භාණ්ඩවල වටිනාකම ලෙස එහි වෙළඳපොළ වටිනාකම සැලකිය යුතු වනවා.

ඒ සඳහා බැංකු සහ මූල්‍ය සමාගම් දැනට භාවිත කරනු ලබන විචක්ෂණශීලී තක්සේරුකරණ ක්‍රමවේදයන් තවදුරටත් අනුගමනය කළ හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, ණය ලබාදෙන අවස්ථාවේදී සිදුකරන මෙම තක්සේරු කිරීම් මඟින් අදාළ රන් භාණ්ඩ සඳහා නිවැරදි සහ සාධාරණ වටිනාකමක් ලැබෙන බවට එම ආයතන වගබලා ගත යුත බවද ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරනු ලබනවා.