ශ්‍රී ලංකා පොලීසිය මඟින් සමාජයේ ආරක්ෂාව අවශ්‍ය අවදානම් සහිත දූ දරුවන් 49,000ක් පමණ මේ වන විටත් හඳුනාගෙන ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂිත වැඩපිළිවෙළක් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් පවතින බවයි.

මේ අතර වසරේ ගතවූ පළමු මාස 09 තුළ ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 364ක් සහ බරපතල ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 114ක් ලැබී ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා.

එමෙන්ම මෙම මාස 09 තුළ ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති ළමා අපයෝජන සහ ළමයින් සම්බන්ධ සෙසු පැමිණිලි සංඛ්‍යාව 9,613ක්.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන පැමිණිලි 1,554ක් වාර්තා වී ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි.

ළමා කෲරත්වයට පත්කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 1,889ක් , සයිබර් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 196ක්,  ස්ත්‍රී දූෂණ පැමිණිලි 169ක් මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පැමිණිලි 99ක්, ගෘහස්ථ හිංසන පැමිණිලි 46ක් ළමයින් වෙළඳාම් කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 40ක් , මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමයින් යොදාගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 37ක් ද අයත්.

එමෙන්ම යොවුන් වියේ ගැබ්ගැනීම් 52ක්, ළමා විවාහ 09ක්, ලිංගික සූරාකෑම් සම්බන්ධයෙන් පැමිණිලි 08ක් වාර්තා වී ඇතැයි ද සදහන්.