දිවයිනේ ප්‍රදේශ හතරක සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

මාලඹේ, වානගුරු මාවත ප්‍රදේශයේදී හොරහේන හන්දිය දෙස සිට හෝකන්දර හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් එක් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා සහ යතුරුපැදිකරු මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදිකයා මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාලඹේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර මඩකලපුව - ත්‍රිකුණාමලය මාර්ගයේ කාට්ටුපල්ලිය හන්දිය අසලදී ලොරි රථයක්, යතුරුපැදි දෙකක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මඩකලපුව දෙස සිට වාලච්චේන දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදි දෙකක සහ මෝටර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා එරාවුර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් තිබෙනවා.

ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බවයි එරාවුර් පොලීසිය පැවසුවේ.

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේදී ගල්කිස්ස ප්‍රදේශයේ තවත් අනතුරක් සිදුව තිබෙනවා.

මොරටුව දෙසට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවක් එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක්. මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය පැවසුවා.

කල්මුණේ - අම්පාර මාර්ගයේ මල්වත්ත ප්‍රදේශයේදී අනෙක් අනතුර සිදුව තිබෙනවා.

එහිදී ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මල්වත්ත 02 ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බවයි සමන්තුරේ පොලීසිය පැවසුවේ.