රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයේ සයමස් නියමු ව්‍යාපෘතිය ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කිරීමට සූදානම් වනවා.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට අපේක්‍ෂා කරන බවයි.

මෙරට මාර්ගවල සිදුවන රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයක් '' DEMERIT SYSTEM '' හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.

වසර දෙකක කාලයක් සඳහා රියදුරන් සඳහා නිශ්චිත ලකුණු සීමාවක් පිරිනමා ඔවුන් මහමඟ සිදුකරන රථවාහන නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව ලකුණු අඩුකිරීමටයි එමඟින් අපේක්‍ෂා කෙරෙන්නේ.

රථවාහන වැරදිවලට අදාළව දඩ ගෙවීමට මේ වන විට හඳුන්වාදී ඇති මාර්ගගත ක්‍රමවේද තවදුරටත් පුළුල් කරමින් ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.