ලෝක ජනාවාස දිනයට සමගාමීව දිවයින පුරා නිවාස 5000ක් විවෘත කිරීමේ වැඩසටහනක් සංවිධාන කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.

ඒ අනුව සෑම ග්‍රාම නිලධාරි වසමකම අවම වශයෙන් එක් නිවසක් විවෘත කෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

උතුරු නැගෙනහිර පළාත්වල නැවත පදිංචිකරවීමේ ව්‍යාපෘති යටතේ රුපියල් ලක්ෂ 20ක ආධාර යටතේ ඉදිකළ නිවාස ද අද දිනයේදී විවෘත කිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසුවා.

''අපි අමාත්‍යාංශයක් විදිහට ඒ වගේම රජය විදිහට ලෝක ජනාවාස දිනය සමරන්න ලෑස්ති කරලා තියෙනවා. ප්‍රධාන සැමරුම කොළඹ අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් අපි පවත්වන්න සූදානම් කරලා තියෙනවා. මේ ප්‍රධාන සැමරුමට සමගාමීව අපේ රට පුරා නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කරන්න, එහෙම නැත්නම් නිවාස 5,000කට ගෙවැදීම සිද්ධ කරන්න දවස පුරා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා රුපියල් ලක්ෂ 10යේ ආධාර ලබා දීලා ඉදි කරලා අවසන් වෙච්ච නිවාස, ඒ වගේම තමයි උතුරු නැගෙනහිර යුද්ධය නිසා අවතැන් වෙච්ච ජනතාව සඳහා නැවත පදිංචි කිරීමේ අංශය හරහා රුපියල් ලක්ෂ 20යේ ආධාරය යටතේ ඉදි වෙච්ච නිවාස, මේ විදිහට රට පුරා හැම ග්‍රාම නිලධාරී වසමකටම අඩුම එක නිවසක් හෝ ජනතා අයිතියට පත් කරන කටයුතු අපි යොදලා තියෙනවා. එක දවසකදී නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කරන එක, එක දවසකදී නිවාස 5,000කට ගෙවැදීම කියන එක මං හිතන්නේ විශාල ව්‍යාපෘතියක් රටේ. අපිට ඕනකම තියෙන්නේ මේ රජයේ ආධාර සහිතව ඉදි වෙච්ච, රජයේ ආධාර පාවිච්චි කරලා ඒ පවුල්වල ප්‍රජා දායකත්වයෙන් ඉදි වෙච්ච මේ නිවාස ජනතාවට බාර දෙන එක මේ ජනාවාස දිනය පාදක කරගෙන සිද්ධ කරන්න. රට පුරා විවෘත වෙන නිවාස 5,000 ගත්තොත් එහෙම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 681ක්, ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 200ක්, යාපනය දිස්ත්‍රික්කයේ 694ක්, ගම්පහ නිවාස 341ක්, අම්පාර නිවාස 402ක්, ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 348ක් වගේ හැම දිස්ත්‍රික්කයකම නිවාස යම් ප්‍රමාණයක් හෝ විවෘත වෙනවා. ඒ අනුව තමයි නිවාස 5,000කට ගෙවැදීම සිද්ධ වෙන්නේ. ජල ව්‍යාපෘති 40කට ආසන්න සංඛ්‍යාවක් රට පුරා එක්කෝ මුල්ගල් තිබ්බා, නැත්නම් විශාල සංඛ්‍යාවක් විවෘත කරා. ඒ නිසා පවුල් දහස් ගණනකට අදාළ ජල සැපයුම් සඳහා වෙච්ච ක්‍රියාමාර්ග අපි ගත්තා. ඒ වගේම තමයි නිවාස සංකීර්ණවල ජීවත් වෙන දරුවන් සඳහා සමාජ කටයුතු, ප්‍රජා කටයුතු, චිත්‍ර තරඟ, නැටුම් තරඟ ආදී කටයුතු අපි කොළඹ නිවාස සංකීර්ණවල ජීවත් වෙන දුවා දරුවන්ගේ දක්ෂතා අගමැතිතුමිය සහභාගී වෙන ප්‍රධාන සැමරුම් උළෙලේදී ප්‍රකාශයට පත් කරන්න.''