රුසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “රොටුඹ අමිල” නමැත්තා අද දිනයේදී මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වනවා.

දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි මෙම සැකකරු පසුගිය වසරේදී රුසියානු ආරක්ෂක අංශ විසින් එරටදී අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව රුසියානු ආරක්ෂක අංශ සමඟ සම්බන්ධ වෙමින්, ඔහුව මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික සහ නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කළා.

ඒ අනුව, සැකකරු මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මේ වන විටත් රුසියාව බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.