වාහන හාරදහසකට ණයවර ලිපි විවෘත කර ඇති බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා කර ඇත්තේ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වාහන ආනයනයේදී පනවන රේගු බද්දට අධිභාරයක් පැනවීමට රජය තීරණය කළ බවයි.

පසුගිය 15 වනදා වනවිට ණයවර ලිපි විවෘත කර ඇත්තේ වාහන 1,782ක් සඳහා පමණක් බවත් ඒ සඳහා වැයවී ඇති මුදල ඩොලර් මිලියන 23.71ක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙනවා.

අනිල් ජයන්ත මහතා කියා සිටියේ, පසුගිය මාර්තු මාසයේ එක් දිනයකදී පමණක් ඩොලර් මිලියන 47ක ලිපි විවෘත කර ඇති බවයි.

මැයි මාසය පුරාම දිනකට ඩොලර් මිලියන 2, 4, 8 සහ 11 වැනි අගයන් වාර්තා වී තිබෙනවා.

15 වනදා සිකුරාදා දිනයක් බැවින් ඉදිරි දින දෙක වෙනුවෙන් ලිපි විවෘත කිරීම නිසා එම අගය මිලියන 23ක් වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

තීරණය ගැනීමෙන් පසු පවා, එනම් 18 වනදා ඩොලර් මිලියන 17ක ලිපි විවෘත වී ඇති බවත් මේ සියල්ලටම අධිභාරය වලංගු නොවන වාහනද ඇතුළත් බවත් ඔහු පැවසුවා.

තත්ත්වය මෙසේ තිබියදී චාමර සම්පත් මන්ත්‍රීවරයා වාහන 4000කට ලිපි විවෘත කර ඇති බව කීම පදනම් විරහිත බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.