ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට යාමේදි පාර්ලිමේන්තුවේදී අද උණුසුම් තත්ත්වයක් හටගත්තා. එහිදී විපක්ෂ නායකවරයා අදාළ ප්රශ්නය ඉදිරිපත් කිරීමට උත්සාහ කළේ මෙලෙසයි.
"ගරු කථානායකතුමනි, මට ඊට පෙර රීති ප්‍රශ්නයක් මතු කරන්න තියෙනවා ඔබතුමාගේ අවසරය ඇතිව. 92 (2) (ආ) යටතේ, විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා මේ සභාවට ඇවිල්ලා අයවැය යෝජනා, ඒ වගේම රජයේ ප්‍රතිපත්ති සම්භාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කරා. හැබැයි ඒක ඉදිරිපත් කරායින් පස්සේ, ඊයේ දවසේ ලාෆ් ගෑස් (Laugfs Gas) වැඩි කරලා තිබෙනවා කිලෝග්‍රෑම් 12.5 ක එක රුපියල් 1,765 කින් 6,700..."
කථානායකතුමා: "ගරු... ගරු විපක්ෂ නායකතුමා ඒක රීති ප්‍රශ්නයක් නෙවෙයි, ගරු විපක්ෂ නායකතුමා..."
විපක්ෂ නායකතුමා: "නෑ, ඒක රීති ප්‍රශ්නයක්. ඒක රීති ප්‍රශ්නයක්."
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ද එහිදි අදහස් පළ කළ අතර ඉන් අනතුරුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අදහස් පළ කිරීමත් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද යළි අදහස් පළ කළා.
සභානායකතුමා (බිමල් රත්නායක මහතා): "ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා, එතුමා රීති අවභාවිතා කරමින් කරන ලද ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න කියලා."
කථානායකතුමා: "ඔව්, ඒක ඉවත් කරන්න ඕනේ මොකද ඒක රීති ප්‍රශ්නයක් නෙවෙයි විපක්ෂ නායකතුමා. රීති ප්‍රශ්නයක් නෙවෙයි විපක්ෂ නායකතුමා, ඔබතුමාට 27 (2) යටතේ ඉදිරිපත් කරන්න පුළුවන්."
විපක්ෂ නායකතුමා: "ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි 92 (2) (ආ) වගන්තියට. මම ඒ වගන්තිය හරහා මං ඔබතුමාට ඉදිරිපත් කරන්නට අයිතියක් තියෙනවා."
කථානායකතුමා: "ඒක රීති ප්‍රශ්නයක්... ඔබ ඉදිරිපත් කරනවා... ඒක රීති ප්‍රශ්නයක් නෙවෙයි."
විපක්ෂ නායකතුමා: "විනාඩියක් දෙන්න..."
කථානායකතුමා: "නෑ, ඔබ රීති ප්‍රශ්නයක් නෙවෙයි ගරු විපක්ෂ නායකතුමා, රීති ප්‍රශ්නයක් නෙවෙයි. ඔබතුමාට දැන් මේ සභාව මෙහෙයවන්නේ මමනේ ගරු විපක්ෂ නායකතුමා. රීති ප්‍රශ්නයක් නෙවෙයි කියලා කියපුවහම ඔබතුමා ඒක තේරුම් අරගෙන වැඩ කටයුතු කරන්නට අවශ්‍යතාවය තියෙනවා. ඔබතුමාට 27 (2) ඉදිරිපත් කරන්න."
විපක්ෂ නායකතුමා: "මට මයික් එක දෙන්න."
කථානායකතුමා: "ඔව්, 27 (2) ඉදිරිපත් කරන්න."
විපක්ෂ නායකතුමා: "මොකක්ද?"
කථානායකතුමා: "27 (2) ඉදිරිපත් කරන්න."
විපක්ෂ නායකතුමා: "නෑ මං ඉස්සෙල්ලා, මට අයිතියක් තියෙනවා විපක්ෂ නායකවරයා හැටියට රීති ප්රශ්නය ඉදිරිපත් කරන්න."
කථානායකතුමා: "ඔබතුමාගේ දැන් ඒ කියපු එක රීති ප්‍රශ්නයක් නෙවෙයි..."
විපක්ෂ නායකතුමා: "92 (2) (ආ) යටතේ මට දැනගන්න ඕනේ ඇයි ලාෆ් ගෑස් (Laugfs Gas) ප්‍රයිස් (Price) එක වැඩි කරේ, දැන් 6,740 යි..."
කථානායකතුමා: "ගරු විපක්ෂ නායකතුමා රීති ප්‍රශ්නයක් නෙවෙයි ඒක. ගරු විපක්ෂ නායකතුමා රීති ප්‍රශ්නයක් නෙවෙයි."
සභානායකතුමා : "ස්ථාවර නියෝග අවභාවිතා කරන්න බෑ, ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒ සියල්ල හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න සහ අවවාද කරන්න කියලා."
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාද එම විවාදයට එක්වුණේ මෙලෙසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි : "...නිවැරදි ලෙස 92 (1) පැහැදිලි කරා. දැන් මේ ක්‍රමවේදයෙන් බැහැරවීම පිළිබඳව තමයි ඔබතුමා... ඒක හරි. ඒ ක්‍රමවේදයෙන් බැහැරවීම ගරු කථානායකතුමනි... ඉන්නකෝ ඉන්නකෝ ඉන්නකෝ කලබල වෙන්න එපා ඉන්නකෝ!"
කථානායකතුමා: "ඔබතුමාගේ මොකක්ද රීති ප්රශ්නය?"
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි : "ඉන්නකෝ ඔබතුමා කියලා තිබුණේ නිවැරදි කියන කාරණයට..."
කථානායකතුමා: "ඔබතුමා ඒක විවරණය කරන්න අවශ්‍යතාවයක් නෑ. ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාගේ 27 (2) ඉදිරිපත් කරන්න."
(මේ අතර සභාවේ වෙනත් මන්ත්‍රීවරුන් ඝෝෂා කරමින් බාධා කරයි: "ඔබතුමා කොට්ට මෙට්ට හොරකම් කරන් ගියා ඒවා ඔක්කොම...", "වෙලාව යනවා දැන්...", "මේ උසාවියේ හිරකාරයෝ...", "ඔව් ඔයත් හිරේ දානවා...")
කථානායකතුමා: "ඔබතුමාට විවාදයේදී ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබතුමා 27 (2) ඉදිරිපත් කරන්නා වූ ගරු විපක්ෂ නායකතුමා... ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා 27 (2) ඉදිරිපත් කරන්න
ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යළිත් අදහස් පළ කළා.
විපක්ෂ නායකතුමා: "මම කණගාටු වෙනවා ඔබතුමා විපක්ෂ නායකවරයා හැටියට මට මේ අවස්ථාව ලබා නොදීම ගැන. මම කණගාටුව පළ කර සිටිනවා විපක්ෂ නායකවරයාට තහනම් කරලා තිබෙනවා මේ ලාෆ් ගෑස් (Laugfs Gas) මිල..."
කථානායකතුමා (බාධා කරමින්): "ඔබතුමා, ඔබතුමා ස්ථාවර නියෝග... ස්ථාවර නියෝග කඩ කිරීමට ඔබතුමාට අයිතියක් නෑ ගරු විපක්ෂ නායකතුමා. ගරු විපක්ෂ නායකතුමා ආයෙත් ඔබතුමා ආයෙත් එනවා මේ 27 (2) ඉදිරිපත් කරන්න."
(මේ අතර සභාවේ වෙනත් මන්ත්‍රීවරයෙක් බාධා කරයි: "පෙන්නනවා මේ කැමරා එකේ... ඕක ටිකක් ඉන්න...")
කථානායකතුමා: "නෑ ගරු විපක්ෂ නායකතුමා..."
විපක්ෂ නායකතුමා: "ලාෆ් ගෑස් වැඩි කිරීම රටේ ප්‍රශ්නයක්... ඒක දැන් 6,740 යි. 1,988 කින්..."
කථානායකතුමා: "ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාගේ 27 (2) අහන්න."
සභානායකවරයා යළිත් අදහස් පළ කළ අතර එහිදී ඇති වුයේ මෙවැනි සංවාදයක්
සභානායකතුමා (බිමල් රත්නායක මහතා): "කථානායකතුමා, සාමාන්‍යයෙන් බාලාංශ පන්තියේ ළමයෙක්ට වුණත් දෙපාරක් තුන්පාරක් කිව්වහම තේරෙනවා. ඉතින් බාලාංශ පන්තියේ ඉන්න විපක්ෂ නායකයට තේරෙන්නේ නැත්නම් මං ඉල්ලා සිටිනවා, මට වගකීමක් තියෙනවා ඇජෙන්ඩා (Agenda) එක කරන්න. ඔබතුමා කරුණාකරලා ඇමතිතුමාට දෙන්න 27 (2) ට යන්න."
කථානායකතුමා: "ගරු විපක්ෂ නායකතුමා, ඔබතුමාගේ 27 (2) ඉදිරිපත් කරන්න. අවසාන... ඔබතුමාට අවසාන දැනුම්දීම. ඔබතුමා 27 (2) ඉදිරිපත් කරන්න."
විපක්ෂ නායකතුමා: "ගරු කථානායකතුමා මට ඒකට උත්තරයක් දෙන්න වෙනවා..."
කථානායකතුමා: "නෑ ගරු විපක්ෂ නායකතුමා, දැන් මේක විවාදයක් නෙවෙයි. ඔබතුමා මේ..."
විපක්ෂ නායකතුමා: "...උත්තරයක් දෙන්න අවස්ථාව දෙන්න."
කථානායකතුමා: "නෑ, ඔබතුමා 27 (2) ඉදිරිපත් කරන්න. 27 (2) ඉදිරිපත් කරන්න ගරු විපක්ෂ නායකතුමා."
(මේ අතර සභාවේ වෙනත් මන්ත්‍රීවරුන් ඝෝෂා කරමින් බාධා කරයි: "ඔය ඉඳගන්න...", "නැත්තම් දාන්න...")
කථානායකතුමා: "ගරු විජේසිරි මන්ත්‍රීතුමා ඉඳගන්න. 27 (2) ඉදිරිපත් කරන්න."
විපක්ෂ නායකතුමා: "හරි මම 27 (2) ඉදිරිපත් කරන්නම්. මේක 27 (2) ඉදිරිපත් කරන්නම්. මේක බාලාංශයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම මේක වසල ප්‍රශ්නයකුත් නෙවෙයි. වසල ප්‍රශ්නයකුත් නෙවෙයි."
කථානායකතුමා: "හරි කමක් නෑ ගරු විපක්ෂ නායකතුමා, මොන පන්ති වුණත් කමක් නෑ ගරු විපක්ෂ නායකතුමා ප්රශ්නය ඉදිරිපත් කරන්න."
(පසුබිමින් මන්ත්‍රීවරයෙකුගේ හඬ: "ඒකෙන් තමයි ඔප්පු වෙන්නේ වසල භාවය...")




