ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති තෙවසරක විස්තීරණ අරමුදල් පහසුකම යටතේ සිදුකෙරෙන 07 වන සමාලෝචනයට අදාළව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. මෙම එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මගින් අනුමත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 345 ක පමණ මූල්‍ය වාරිකයක් නිදහස් කරගැනීමට හැකියාව ලැබෙනු ඇති. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් සමස්ත මූල්‍ය සහනය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7 ක් දක්වා ඉහළ යනු ඇති. 2027 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ ණය ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සලකා බැලීමෙන් පසු විධායක මණ්ඩල අනුමැතිය හිමිවන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ.
මැදපෙරදිග කලාපයේ පවතින උද්ගත වී ඇති තත්ත්වයන් හමුවේ ඉදිරියේදී අවදානම් මතුවිය හැකි බැවින්, රට තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව ද මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එම මූල්‍ය වාරිකය ලැබුණද මෙරට ජනතාවට සෘජුව සහනාධාර හිමි නොවනු ඇති බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ. ඒ, නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු නිශාන් ද සිල්වා සමග සංවාදයකට එක්වෙමින්.

මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා - IMF හත්වෙනි සමාලෝචනය අවසන් කරාට පස්සෙ, අපිට මූලික වශයෙන් ඇත්තටම වාරික දෙකක් වගේ නැවත ලැබෙන්නට තියෙනවා. ඉතින් 2027 මාර්තු වෙනකොට මේ වැඩසටහන සම්පූර්ණ අවසන් වෙනවා මේ වාරික දෙක ලැබීමෙන් පස්සෙ. ඊට පස්සෙ අපි නැවතත් IMF එකත් එක්ක නැවත ගිවිසුමකට යනවාද නැද්ද කියන එක රජයේ පැත්තෙන් යෝජනා ඉදිරිපත් වෙන්නට ඕන. ඒ පිළිබඳව මේ වෙනකොට තාම සාකච්ඡා මට්ටමෙන් පවතිනවා මිසක් කිසිඳු තීරණයකට ඇවිත් නෑ. කොහොම වුණත් පසුගිය ඇත්තටම වසර කිහිපය තුළ IMF වැඩසටහන ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම මගින් ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු ප්‍රතිසංස්කරණ රාශියක් ගෙනාවා. නමුත් IMF එක අපේක්ෂා කරපු ආකාරයේ සමහර දේවල් ක්‍රියාත්මක කර ගැනීමට හැකියාව ලැබුණෙ නැහැ. විශේෂයෙන්ම කාලයෙන් කාලයට විවිධ දේවල් වෙනස් වීමක් අපි දැක්කා. අපි දකිනවා මහ බැංකුව පැත්තෙන් ඇත්තට සංචිත ප්‍රමාණය වැඩි කරගැනීම කියන කාරණා, ඒ වගේම සමහර වෙලාවට පිරිවැය ආවරණය වන ඉන්ධන මිල ගණන් වගේ දේවල් මෙන්න මේවා පිළිබඳ යම් යම් ආකාරයේ මතභේදාත්මක ගැටලු පැවතුණා. කොහොම වුණත් අපි ඇත්තට IMF වැඩසටහනට අවතීර්ණ වෙලා අදාළ කාලපරිච්ඡේදය තුළ සැලකිය යුතු මට්ටමක ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ රාශියක් ඔස්සේ ආර්ථික ස්ථායීතාවයට ගේන්නට හැකියාව ලැබුණා. ඒක තමයි අපි ලැබූ ප්‍රධාන ජයග්‍රහණය. ඉතින් ඒ ආර්ථික ස්ථායීතාවය ප්‍රමාණවත් නෑ, මේ ස්ථායීතාවය වර්ධනයක් බවට අපි පරිවර්තනය කරන්නට ඕන. ඒ පරිවර්තනය කිරීම සඳහා මං හිතන්නේ පුළුල් වැඩපිළිවෙලක් දැන් රජයේ පැත්තෙන් ඉදිරිපත් වීමේ අවශ්‍යතාවය පවතිනවා.

ප්‍රශ්නය:  කොයි කාලෙ වගේ වාරිකය ලැබෙයිද? මොකක්ද මීට පස්සෙ තියෙන ක්‍රමවේදය? දැනට ගිවිසුම විතරයි ඇවිල්ලා තියෙන්නෙ. තව ගොඩ කාලයක් බලාගෙන ඉන්න වෙයිද?

පිළිතුර: ඔව්, ඇත්තටම IMF කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකින් පසුව ඒගොල්ලන්ගෙ විධායක මණ්ඩලය මගින් අනුමත කරන්නට ඕන. කොහොම වුණත් ලබන අවුරුද්දෙ මාර්තු වලට කලින් මේ සියල්ල මේ මූලික වැඩසටහන අවසන් වෙන්නට ඕන. ඒ නිසා මම හිතනවා වැඩි කල් නොයා මේ පළවෙනි වැඩසටහන ඉතාමත් සාර්ථකව අවසන් කරලා අදාළ වාරිකයන් ලංකාවට ලැබෙයි කියලා.

ප්‍රශ්නය: වාර්තා වන ආකාරයට ඇමෙරිකානු ඩොලර් මිලියන 345ක මුල්‍ය පහසුකමක් ලැබෙනවා කියලා තමයි දැනගන්න තියෙන්නෙ. මේක ලැබීමෙන් අනතුරුව ජනතාවට සහන ලැබෙයිද?

පිළිතුර: ඇත්තටම IMF වැඩසටහන තුළ සමස්තයක් වශයෙන් මං හිතන්නෙ ඩොලර් මිලියන 700කට වගේ ආසන්න ප්‍රමාණයක් අපිට ලැබෙන්නට තියෙනවා. ඒකෙන් එක වාරිකයක් තමයි ඔය ඒ කියන්නෙ ඩොලර් මිලියන 300 ගණනක තියෙන්නෙ. එතකොට මේ ඩොලර් මිලියන 300 ගණන අරගෙන ලංකාවෙ ජනතාවට සේවා සැපයීම හෝ සහනාධාර කියන එක ඍජුවම සිදුවීමක් වෙන්නෙ නෑ. නමුත් වක්‍රව ඒ තුළ යම් යම් දේවල් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට විනිමය අනුපාතිකය ස්ථාවරව තියාගන්නට පුළුවන්, රට සතුව ඩොලර් සංචිත ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මේ තුළ යම් යම් ආකාරයේ වාසි රටවැසියන්ට හිමි වෙනවා. ඒ හැර ඍජුවම මේ මුදල් අරගෙන ජනතාවට මුදල් දීමට හෝ වෙන යම් ආකාරයක සහනාධාර දීම වගේ දේවල් සිදු කිරීමට රජයට ක්‍රියා කිරීමේ හැකියාවක් ලැබෙන්නෙ නෑ. මං හිතන්නෙ රජය ඒ වගේ ක්‍රියාමාර්ග වලට යා යුතුත් නැහැ. වැදගත් වෙන්නෙ ආර්ථිකය ස්ථාවරව තබාගෙන 2028 වෙනකොට ණය ගෙවන ගෙවීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගෙන අපි ක්‍රමයෙන් ඉස්සරහට යන එක.

ප්‍රශ්නය: වර්තමානයේ රටේ ආර්ථික තත්ත්වය කෙබඳුද?

පිළිතුර: වර්තමාන ආර්ථිකය ගත්තාට පස්සෙ සමස්තයක් විදිහට ආර්ථිකය සැලකිය යුතු මට්ටමක ස්ථායීතාවයක අපි ඇවිත් තියෙන්නෙ. නමුත් දිට්වා සුළි කුණාටුමය තත්ත්වය, ඊට පස්සෙ මැදපෙරදිග ඇතිවූ ඉන්ධන අර්බුදය වගේ දේවල් හේතුවෙන් යම් යම් ආකාරයේ ආර්ථිකය පසුබෑම් වලට ලක් වුණා. කොහොම වුණත් මේ කියන අභියෝග මධ්‍යයේ අපිට 5%ක වගේ ආර්ථික වර්ධනයක් පසුගිය අවුරුදු දෙකේම ලබාගන්නට පුළුවන් වුණා. ඉතින් මේ වසරෙත් 4.5%ක, 5%ක වගේ ආර්ථික වර්ධනයක් ලබාගන්නට පුළුවන් වෙයි කියලා අපේක්ෂා කරනවා. අභියෝග හමුවේ ආර්ථිකය සැලකිය යුතු ප්‍රත්‍යස්ථ කරන කරමින් අපේ ඉස්සරහට යාමේ අවශ්‍යතාවය තියෙනවා.

ප්‍රශ්නය: ඒ සඳහා ආණ්ඩුවේ කැපවීම ඔබතුමා සෑහීමට පත් වෙනවාද?

පිළිතුර: ඔව්, ආණ්ඩුව පැත්තෙන් ගත්තාට පස්සෙ යම් යම් ප්‍රතිසංස්කරණ වලට ඒගොල්ලො අවතීර්ණ වෙලා ක්‍රියා කරන බවක් අපිට පේනවා. නමුත් එය කිසිසේත් ප්‍රමාණවත් නැහැ ඇත්තටම. රට තුළ සැලකිය යුතු මට්ටමක ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. ඉතින් ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු පැතිකඩ ගණනාවක් තියෙනවා. නමුත් යොමු නොවූ පැතිකඩ ගණනාවකුත් තියෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම රජය අවධානය යොමු කරන්නට ඕන මේ 2027 වර්ෂය තුළ.

ප්‍රශ්නය: ඒ මොන වගේ ක්ෂේත්‍ර සඳහාද ඔබතුමා දකින්නෙ?

පිළිතුර: විශේෂයෙන්ම අපි දකිනවා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සැලකිය යුතු පසුබෑමක් පසුගිය කාලය තුළ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක සමහර විට කාලගුණික දේශගුණික තත්ත්වයන් නිසාම වුණ දෙයක් විදිහට අපිට හඳුනාගන්නට බෑ. අත්‍යවශ්‍ය වෙනවා කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කරලා, එය ආර්ථිකයට ඉහළ වර්ධනයක් ගෙන දෙන්නට පුළුවන් අංශයක් බවට පරිවර්තනය කරන්නට. ඒ වගේම කාර්මික අංශය දැඩිව කඩා වැටීමක් සිද්ධ වුණා පසුගිය කාලය තුළ විශේෂයෙන් 2022දී. ඒ තුළ යම් පිබිදීමක් තිබුණත්, බොහෝමයක් අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්නන නිසා ඒකෙ ඇත්තටම වැලියු ඇඩිෂන් (value addition) එක අඩු මට්ටමක තියෙන්නෙ. ඉතින් ඒවා කෙරෙහි අවධානය යොමු කරන්නට ඕන.

ඒ වගේම සේවා අංශය ගත්තාට පස්සෙ ලංකාවේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන්නෙ එක තැන පවතින අංශයක් බවට පරිවර්තනය වෙන්නේ... පවතින්නේ. ඉතින් මේ අංශවල සැලකිය යුතු වර්ධනයක් වෙන්නට ඕන. ඒත් එක්කම අපි දකිනවා සේවා වියුක්තිය දැන් ක්‍රමයෙන් වැඩි වේගෙන යනවා. ඒ වගේම ඉගෙනගත්ත, උගත් මිනිස්සු අතර සැලකිය යුතු ප්‍රමාණයක් රැකියා විරහිතව ඉන්නවා. ඉතින් මේ වගේ පැති කෙරෙහි විශේෂ අවධානය රජය යොමු කරලා ඉවර වෙලා ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය පවතිනවා.

ප්‍රශ්නය: දූෂණය, නාස්තිය සහ අල්ලස සම්බන්ධයෙන් මේ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?

පිළිතුර: ඔව්, ඉතින් ඕනෑම රටක දූෂණය, වංචාව, අල්ලස මෙව්වා නැති වෙන්නට ඕන. ආර්ථිකයක් ඉහළට ගන්නට නම් මෙව්වා කෙරෙහි විශේෂ අවධානය යොමු කරලා ක්‍රියා කරන්නට අවශ්‍ය වෙනවා. ඉතින් ඒක රජයේ පැත්තෙන් යම් යම් දේවල් ක්‍රියා කරනවා වගේම ජනතාවගේ පැත්තෙනුත් ලොකු වගකීමක් තියෙනවා. මෙව්වා රට තුළින් තුරන් කරලා මේ අනාගත පරපුරට අවශ්‍ය රටක් විදිහට මේ රට ගොඩනගන්න. රජයේ පැත්තෙන් අරගෙන තියෙන බොහොමයක් ක්‍රියාමාර්ග ගැන අපිට සැලකිය යුතු මට්ටමක සෑහීමකට පත් වීමේ හැකියාව තියෙනවා.