දිට්වා සුළි කුණාටුවෙන් පසු නතර වී තිබූ උඩරට මාර්ගයේ පේරාදෙණිය - ගම්පොළ දක්වා දුම්රිය ධාවනය ලබන සිකුරාදා සිට ආරම්භ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් පසු රඹුක්කන සහ ගම්පොළ අතර දුම්රිය මාර්ගය ස්ථාන 113 කින් හානියට ලක්ව තිබුණා.
ඉන් විශාල ප්‍රමාණයේ නායාම් 36ක් සිදුව තිබූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. මීට අමතරව දුම්රිය මාර්ගය සේදී යාම් පස් කඳු කඩා වැටීම් හැට හතක් සිදුව තිබුණා.
රඹුක්කන - කඩුගන්නාව කොටස දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග පද්ධතියේ වැඩිම ආනතිය ඇති මාර්ග කොටස් වලින් එකක් වනවා.
ඒ හේතුවෙන් එම ප්‍රදේශයට ළඟාවීම සඳහා විකල්ප සැපයුම් මාර්ග නොමැතිවීම, අයහපත් කාලගුණ තත්ත්වය හා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ අමු ද්‍රව්‍ය දුම්රිය මගින්ම ප්‍රවාහනය කිරීමට සිදුවීම යන අභියෝග මධ්‍යයේ එම සියලු ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමඟ එක්ව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උපදෙපාර්තමේන්තුව විසින් සිදුකර මාර්ගය ධාවනයට සුදුසු තත්ත්වයට මේ වන විට පත් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව කොළඹ කොටුව - පේරාදෙණිය/ ගම්පොළ අතර සාමාන්‍ය දුම්රිය කාල සටහන ඔක්තෝම්බර් මස දෙවනදා සවස් වරුවේ ආරම්භ කෙරන අතර එතැන් සිට ක්‍රියාත්මක වන කාල සටහනද දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.



