ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් අතර විශේෂ හමුවක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

​පැයකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම ඇතුළත් 22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරුණු අතර, ඊට අදාළව නීතිඥ සංගමයේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

​මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ තීරණය කිසිදු පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරබයා ගත් එකක් නොව රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා ලද තීරණයක් බවයි.

​එමෙන්ම අධිකරණ පද්ධතියේ සහ සමස්ත යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ උන්නතිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, පොලීසිය සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල මානව සම්පත ඉහළ නැංවීමටත්, අභියාචනාධිකරණ හා මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නංවමින් පළාත්බදව අභියාචනාධිකරණ කටයුතු ව්‍යාප්ත කිරීමටත් රජය පියවර ගනිමින් සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළා.

​විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම මෙන්ම විශ්‍රාම වයස දීර්ඝ කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් නොමැති බවත්, ඒ පිළිබඳව තවදුරටත් සලකා බලා පොදු සම්මුතියකට එළඹීම සුදුසු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් මෙහිදී යෝජනා කර තිබෙනවා.

​මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.