විදේශගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පානදුර කුඩු සළිඳු‘ නැමැත්තාගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ රත්මලාන ගුවන් තොටුපොළ හන්දියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

​ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුව ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (17) රාත්‍රියේදීයි.

​සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 63 කට අධික මුදලක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 කට වැඩි ප්‍රමාණයක්, ස්කූටර් වර්ගයේ යතුරුපැදියක්, නවීන පන්නයේ මුදල් ගණින යන්ත්‍රයක් සහ විද්‍යුත් තරාදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

​දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය බෙදාහරිමින් මුදල් එකතු කිරීමේ නිරත වීම වෙනුවෙන් ‘කුඩු සළිඳු‘ විසින් මොවුන්ට රුපියල් එක්ලක්ෂ පනස්දහසක මාසික වැටුපක් ගෙවා ඇති බවයි.

​අවුරුදු 34 සහ 26 යන වයස්වල පසුවන මෙම සැකකාර අඹුසැමි යුවළ රැඳවුම් නියෝග මත තබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පියවර ගෙන තිබෙනවා.