ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නීති විරෝධී ලෙස බස් රථ සඳහා මාර්ග ධාවන බලපත්‍ර ලබා දීමේ සිද්ධියකට අදාළවයි.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධානයන්ට සහ 2014.09.19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයේ නිර්දේශවලට පටහැනිව දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව සහ වාර්ෂික ගාස්තු එකවර අයකර ගැනීමකින් තොරව නිකුත් කිරීමට එරෙහිව ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් රේණුක පෙරේරා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.