කළුතර විද්‍යාලය සහ තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන ''මැංගුස් හටන''  මහා ක්‍රිකට් තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වනවා.

දෙදින තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙවර පැවැත්වෙන්නේ 66 වන වරටයි.

1949 වසරේදී ආරම්භ වූ මෙම මහ ක්‍රිකට් තරගය මෙරට 13 වැනි පැරණිතම පාසල් මහා ක්‍රිකට් තරගය ලෙසයි වාර්තා අතරට එක්ව තිබෙන්නේ.

''මැංගුස් හටන''  මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණ අත් කරගෙන ඇත්තේ කළුතර විද්‍යාලයයි.

එදා මෙදා තුර කළුතර විද්‍යාලය ''මැංගුස් හටන''  මහා ක්‍රිකට් තරග 23 ක් ජයගෙන ඇති අතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ජය ගෙන ඇති තරග ගණන 06 ක්.

ශීර්ෂ තාරක ලියනගේ කළුතර විද්‍යාලයීය කණ්ඩායමට මෙවර නායකත්වය ලබා දෙන අතර මලිදු දිල්ෂාන් කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කල දුලිප් ලියනගේ, තිලකරත්න ඩිල්ෂාන්, මාලිංග බංඩාර, රුවන් සුජීව ද සිල්වා, මිලින්ද සිරිවර්ධන සහ පැතුම් නිස්සංක කළුතර විද්‍යාලය නියෝජනය කරමින් ''මැංගුස් හටන''  මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කර තිබීම සුවිශේෂි කරුණක්.

මෙම තරගය සදහා මධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

මේ අතර. ''රන් මහා සටන'' ලෙස විරුධාවලියලත් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන තුන් දින ක්‍රිකට් තරගය ද අද ආරම්භ වනවා.

ඒ, කොළඹ එස් එස් සී ක්‍රිඩාංගණයේදීයි.

මෙවර 'රන් මහා සටන'' පැවැත්වෙන්නේ විසි වන වරටයි.

ජාතියට ක්‍රීඩකයන් යළි බිහි කිරීමේ ආරම්භයක් ලෙස සිය කණ්ඩායම මෙවර තරගයට මනා පුහුණුවකින් ක්‍රීඩා කරන බවයි කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා පැවසුවේ.

කොළඹ මහානාම විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම තරගයට ඇති සූදානම පිළිබද එම විද්‍යාලයේ විදුහල්පතිනි සඳමාලී බණ්ඩාර මහත්මිය සදහන් කළේ සිය කණ්ඩායම ද ජයග්‍රාහී මානසිකත්වයෙන් මෙවර තරගයට ක්‍රීඩා කරන බවයි.

පාසල් දෙක අතර එක්දින ක්‍රිකට් තරගය ලබන 17 වනදා එස් එස් සී ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ, දිවා රාත්‍රී තරගයක් ලෙසයි.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර විස්සයි විස්ස තරඟය ලබන 22 වනදා එම ක්‍රිඩාංගණයේදීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.