ශ්‍රී ලාංකීය ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි රුමේෂ් තරංග පතිරගේ ක්‍රීඩකයාගේ ඔලිම්පික් සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් මෙරට ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදකයෙකු වන උස්වත්ත බිස්කට් පෞද්ගලික සමාගම නිල අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත්ව සිටිනවා.
ඔවුන් විසින් පසුගියදා රුමේෂ් තරංගගේ උපන් ගම් ප්‍රදේශය වන කැනන්තුඩාව ප්‍රදේශයේදී විශේෂ උපහාර උත්සවයක්ද පැවැත්වුවා.
රුමේෂ් තරංග මෙම තරග වාරය තුළ ජාත්‍යන්තර පිටියේ පෙරළිකාර දක්ෂතා රැසක් සනිටුහන් කළා.
විශේෂයෙන්ම රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 92.62 ක දුරක් වාර්තා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් වූ අතර, එය මෙම වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීමේ දක්ෂතාවය මෙන්ම ඔහුව ලෝක ඉතිහාසයේ අටවැනි ස්ථානය දක්වා ඔසවා තැබීමට සමත් වුණා.
ඉන් නොනැවතී, චෙක් ජනරජයේ පැවති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 86.57 ක දුරක් වාර්තා කරමින් ප්‍රබල ජාත්‍යන්තර තරගකරුවන් අභිබවා ප්‍රථම ස්ථානය දිනාගත් රුමේෂ්, කටාර්හි දෝහා ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ද ජයග්‍රාහී දක්ෂතා දක්වමින් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වුණා.
රුමේෂ් ලබාගත් මෙම ඓතිහාසික ජයග්‍රහණ අගයමින් උස්වත්ත බිස්කට් සමාගම විසින් ඔහු වෙත රුපියල් මිලියන 2.5 ක මුදල් ත්‍යාගයක් පිරිනැමූ අතර, ඔහුගේ සාර්ථකත්වයේ පසුපස සිටි පුහුණුකරු ටෝනි ප්‍රසන්න මහතා වෙත ද රුපියල් 500,000 ක මුදල් ත්‍යාගයක් පිරිනමනු ලැබුවා.
මෙහිදී අදහස් දැක්වූ උස්වත්ත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සහ තරුණ ව්‍යවසායක ශංකර් පෙරේරා මහතා සඳහන් කළේ, ලෝක මට්ටමේ විශිෂ්ටත්වයක් අත්කර ගැනීමේ හැකියාව ඇති ශ්‍රී ලාංකික දක්ෂතා හඳුනාගෙන ඔවුන්ට සහයෝගය දැක්වීම තම සමාගමේ අඛණ්ඩ විශ්වාසය බවයි.
වසර 70කට වැඩි විශ්වාසනීය ඉතිහාසයක් ඇති උස්වත්ත සමාගම, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල දක්වාම රුමේෂ් තරංගගේ නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට මෙහිදී දීර්ඝකාලීන ගිවිසුමකට එළඹුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනා දීමේ රුමේෂ්ගේ අවසාන අරමුණ සහ සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් සැමවිටම ඔහු සමඟ අත්වැල් බැඳගෙන සිටින බව උස්වත්ත සමාගම වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.




