පාකිස්තානය සමඟ පැවති අවසන් පූර්ව තරගය කඩුලු හතරකින් ජය ගනිමින් පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ රාත්‍රියේ සමත් වුණා.
මෙම ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව කැටුව යාමේ වැඩි ගෞරව හිමි විය යුත්තේ සටන්කාමී පිතිකරණයක යෙදුණු ශ්‍රී ලංකා මැදපෙළ පිතිකාරිනියන්ටයි.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 130ක් ලබා ගත්තා.
එහිදී වඩාත්ම කැපී පෙනුණේ නායිකා ෆාතිමා සනා ක්‍රීඩාකළ සටන්කාමී ඉනිමයි.
ඇය පන්දු 36කදී නොදැවී ලකුණු 47ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත්ම සාර්ථක පන්දු යවන්නිය වූයේ නායිකා චමරි අතපත්තුයි. ඇය ලකුණ 24ට කඩුලු 2ක් දවා ගත්තා.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා පිතිකාරිණියන් පිටියට පිවිසියේ ලකුණු 131ක ඉලක්කයක් හඹා යාම සඳහායි.
නමුත් නැවත වරක් ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකාරිනියන් අපේක්ෂිත දක්ෂතා දැක්වීමට අපොහොසත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු හතර බිඳ වැටුණේ ලකුණු 33ටයි.
එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අවස්ථාවක පසුවද්දී හර්ෂිතා සමරවික්‍රම සහ කවිෂා දිල්හාරි පිටියේ එක් වූ අතර ඔවුන් දෙදෙනා පකිස්තාන පන්දු යවන්නියන්ට හිසරදයක් වෙමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත්ව ගොඩනැගුවා.
හර්ෂිතා සමරවික්‍රම පන්දු 31දී ලකුණු 36යි.
කවීෂා දිල්හාරි පන්දු 33දී ලකුණු 33ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා 5වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාව ලකුණු 67ක්.
කෙසේ වෙතත් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද ශ්‍රී ලංකාවට ඉමහත් අභියෝගයක් වෙමින් පාකිස්තාන නායිකා ෆාතිමා සනා කඩුළු හතරක් දවා ගත්තා.
සටන්කාමීව පන්දුවට පහර දෙමින් සිටි හර්ෂිතා සමරවික්‍රම සහ කවිෂා දිල්හාරි දෙදෙනාගේම කඩුළු දවා ගත්තේ ද ඇය විසින්.
නමුත් කවීෂා දිල්හාරිගේ දැවීයාම මතභේදයට ලක් වූ එකක් වුණා.
එසේ තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේදී ජයග්‍රහණය කරා රැගෙන ගියේ නිලක්ෂිකා සිල්වා සහ කෞෂිනී නුත්‍යාංගනායි.
පන්දුවාර 18යි පන්දු 4දී ලකුණු 134ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය තහවුරු කර ගත්තා.
නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 18යි. කෞෂිනී නුත්‍යාංගනා නොදැවී ලකුණු 10ක් ලබාගත්තා.
මෙම ජයග්‍රහණයත් සමග පිට පිටම දෙවන වරටත් පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
මෙම තරඟාවලියේ වත්මන් ශූරියන් වන්නේ ද ශ්‍රී ලංකාවයි.
ඔවුන් දැන් අවසන් මහා තරගයේදී ඉන්දියාව මුණ ගැසීමට නියමිතව තිබෙනවා.
2024 පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.
එහිදී ඉන්දියාව පරාජය කරමින් ශුරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
මෙවර දෙපිල අතර අවසන් මහා තරගය හෙට පැවැත්වීමට නියමිතයි.




