අම්පාර, කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් නමැත්තාට සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇතැයි වාර්තා වනවා.
ඒ ඔහු සිය ෆෙස්බුක් ගිණුමේ තැබූ සටහනකින් නබි නායක තුමාට හා ස්ලාම් දහමට අපහාස වූ බවට නඩු විභාගයකින් තීරණය කිරීමෙන් පසුවයි.
රුහුණු මහා කතරගම දේවාලයේ පාද යාත්‍රාවට එක්ව සිටි පිරිස සමඟ සුනඛයෙකු ගමන් කරන ආකාරයත් පසුව කිසියම් පුද්ගලයෙකු අදාළ සුනඛයාට පහරදී හිරිහැර කරන ආකාරයත් දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යවෙත මුදාහැර තිබුණා.
දැනට මරණ දණ්ඩනය නියමවී සිටින සිවරාසා අනෝජන් නැමැති මෙම තරුණයා අදාළ පහරදීම සිදුකළ පුද්ගලයාව විවේචනයට ලක්කරමින් සිය ෆෙස්බුක් ගිණුමට විඩියෝවක් එක්කර තිබූ බවයි වාර්තා වන්නේ.
අදාළ විඩියෝව සම්බන්ධයෙන් සෞදි පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත්වී තිබුනේ ඉන් අනතුරුවයි.
ඔහු පළකල ෆෙස්බුක් විඩියෝව සම්බන්ධයෙන් සවුදි අරාබියේ අල්-අහ්සා අපරාධ අධිකරණය මගින් අනෝජන්ට එරෙහිව වසර 5 ක සිරදඬුවමක් සහ සවුදි රියාල් මිලියන 3 ක දඩයක් නියම කර තිබූ අතර, එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයෙන් පසුව ඔහුට මරණ දඬුවම නියම කෙරුණු බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මෙම අභියාචනා ක්‍රියාවලියේදී සිදුවූ අඩුපාඩු සහ විදේශ අමාත්‍යාංශයේ මැදිහත්වීම සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ලාංකික තරුණයාගේ ජීවිතය බේරාගැනීමට බලධාරීන් කටයුතු කලයුතු බවයි.
මේ අතර සවුදි අරාබියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනෝජන් සිද්ධිය සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධානය යොමුකර තිබෙනවා.
නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යංශය ප්‍රකාශකලේ රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සහ කොළඹ පිහිටි සවුදි අරාබි තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් යුතුව අදාළ සිදුවීමේ ප්‍රගතිය නිරන්තරයෙන් නිරීක්ෂණය කරන බවයි.
රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා මාර්ග හරහා සවුදි බලධාරීන් සමඟ සක්‍රීයව සම්බන්ධ වෙමින් සිවරාසා අනෝජන් මහතාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ ඔහුට ලබා දිය හැකි සියලුම සහාය ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.




