හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය යළි දිවයිනට පැමිණ තිබෙනවා.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් ඇය ඊයේ රාත්‍රී 11.20 ට පමණ දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල නියෝජිත ටී කේ ජි කපිල පැවසුවේ.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය 16 වනදා අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගියා.
ඒ, ඇයගේ පුත් රෝහිත රාජපක්ෂගේ නැන්දණිය වූ ඈන් ද ලිවේරා මහත්මිය සමගයි.
කෙසේවෙතත් ඈන් ද ලිවේරා මහත්මිය මීට දින කිහිපයකට පෙර යළි දිවයිනට පැමිණියා.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාම සදහා , ඇමෙරිකානු ඩොලර් 216 ක් ගෙවා , විශේෂ අමුත්තන් සදහා වූ ” ගෝල්ඩි රූට් ” පහසුකම භාවිතා කර තිබූ බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.
එමගින් ඇය සාමාන්‍ය ගුවන් මගීන් මගහැර , ඍජුවම සහ ප්‍රමාද වීම් වලින් තොරව පැමිණ තිබෙනවා.
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගියදා සිංගප්පුරුව බලා පිටත්ව යාම පිළිබද විවිධ අදහස් පළ වුණා.
ඇතැමුන් ප්‍රකාශ කර තිබුණේ ඇය ප්‍රතිකාර ලබාගැනීම සදහා එලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවයි.
එලෙස දිවයිනෙන් පිටත්ව යාමට පෙර “සිරිලිය සවිය” ගිණුම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙසට පොලිසිය දැනුම් දී තිබුණා.
කෙසේවෙතත් එම විමර්ශනයට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.









