2026 T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

කුසලානය වෙනුවෙන් මෙහිදී තරග වදින්නේ T20 වත්මන් ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකාව සහ වැඩිම වාර ගණනකදි T20 ආසියානු කිරුළ ජයගත් ඉන්දියාවයි.

තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 8ට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබාහිදී ආරම්භ වනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන කණ්ඩායම් දෙකම අද පැවැත්වෙන අවසන් මහා තරඟයට සහභාගි වන්නේ තරගාවලිය තුළ මේ දක්වා අපරාජිතවයි.

අවසන් පූර්ව වටයේදී පකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ඉන්දියාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තේ බංග්ලාදේශය පරාජය කරමින්.

ශ්‍රී ලංකා සහ ඉන්දියා කාන්තා කණ්ඩායම් අතර අවසානයට පැවැත්වුණු T20 තරග 10න් 9ක් ම ජය ගෙන ඇත්තේ ඉන්දියාවයි.

කෙසේවෙතත් මෙම තරඟ 10න් වඩාත්ම වැදගත් තරඟයක් වූ 2024 T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක් පළමු වරට පැවැත්වුණේ 2012 වසරේදීයි.

එතැන් සිට මේ දක්වා තරගාවලි 5ක් පවත්වා තිබෙනවා.

ඒවායින් තරගාවලි 3දීම කුසලානය දිනා ගත්තේ ඉන්දියාවයි.

2018 වසරේදී එහි කුසලානය දිනාගැනීමට බංගලාදේශය සමත් වුණා.

2024 වසරේදී කුසලානය දිනා ගත්තේ ශ්‍රී ලංකාවයි.

2022 වසරේදී එහි අනු ශූරතාව දිනා ගැනීමට ද ශ්‍රී ලංකාව සමත් වුණා.

අද තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන්නේ ජයග්‍රහණය පිළිබඳ ඉහළ බලාපොරොත්තු සහිතවයි.

තරගාවලිය පුරා ශ්‍රී ලංකා මැදපෙළ පිතිකාරිනියන්ගේ දක්ෂතා කැපී පෙනුනා.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ද තරගාවලියේදී ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වූ බවයි විචාරක අදහස වන්නේ.