ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් අත්සන් කර ඇති ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අභියාචනාධිකරණය කල් තැබුවා.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සමේ තීන්දුව අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ එම නඩු තීන්දුව සූදානම් නොමැති බැවින් එය ප්‍රකාශයට පත් කිරීම කල් තබන බවයි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් නොවන බවයි.

එසේ තිබියදී තමන් එම ආයතනයේ ස්ථිර සේවකයින් ලෙස සලකා රදවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන තිබෙන තීරණය නීතියට පටහැණි බවට ප්‍රකාශයට පත් කර එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.